කතාව 01:
උදෑසනින්ම පිබිදුණු දෙව්මිණි සඳළුතලය වෙතට විවෘත වන දොරටුවෙන් පිටතට විත් අවට සිසාරා දෙනෙත් යොමු කළාය. තම මව් බිමේ සුන්දරත්වයෙන් ඇය වශී වූවා සේය. එංගලන්තයේ පදිංචිව සිටි ඇය සිය දෙමාපියන් සමග දෙදිනකට පෙරාතුව නැවත මෙරටට පැමිණියේ ඉන් පිටව ගොස් දොළොස් වසරකට පමණ පසුවය. දෙව්මිණිගේ පියාට එහි උසස් රැකියාවක් හිමි වීමෙන් පසු ඇය හා ඇගේ මවද ස්ථිර පදිංචිය සඳහා එංගලන්තය බලා ගියෝය. මව්පිය දෙපළ මින් පෙර කිහිප වරක් ලංකාවට ඇවිත් ගියද ඇයට එම අවස්ථා මග හැරුණේ අධ්‍යාපන කටයුතු හේතුවෙනි. පාසල් දිවිය උසස් ප්‍රතිඵල සමග හමාර කළ ඇය මෙවර සිය මව හා පියා සමග පැමිණ සිටින්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙරාතුව මසක නිවාඩුවක් සිය මව්බිමේ ගත කිරීම සඳහාය. ඒ ඇගේ නැන්දනියගේ ආරාධනාව මතය. ගුණවර්ධන මහතාගේ නැගණිය හා ඇගේ ස්වාමි පුරුෂයා වාසය කළේ කෑගල්ලේ පිහිටි බංගලාවකය. තේ වතු කිහිපයකම හිමිකරුවන් වුවද එම දෙපළට දරුවන් සිටියේ නැත. එබැවින් ඔවුහු දෙව්මිණි ඇතුළු අනෙකුත් ඥාති දූ පුතුනටද අසල්වැසි දරුවන්ටද මහත් සේ ආදරය කළහ. ගුණවර්ධන පවුලට අයත් නිවසක් ගල්කිස්සේ පිහිටියද මෙවර නිවාඩුව සඳහා ඔවුන් කෑ ගල්ලට පැමිණීමට තීරණය කළේ ඔවුන්ගේ ආරාධනාව නිසාය.
කඳු වැටි සිප ගනිමින් හමා ආ සිහිල් සුළං රැල්ලක් දෙව්මිණිගේ හිස කෙස් අවුල් කරමින් ඇදී ගියේය. නැවුම් වාතාශ්‍රය කෑදර කමින් ආඝ්‍රාණය කළ ඇය ඉහළ අහස දෙස බැලුවාය. සුදෝ සුදු වළා කැරළි ඒ මේ අත පා වෙමින් හිරු මුදුන් වන තුරා බලා හිඳියි. බංගලා වත්තේ තුරු මුදුන් මතට වී ගී ගයන කුරුල්ලන්ගේ හඬට නිහඬව කන් දී සිටි ඇය සඳළුතලය පුරා ඇවිදිමින් මුළු දර්ශන තලයම සිය නෙතට හසු කරගන්නට තැත් කළාය.
ඈ සිටි තැනට පහළ වෙල නොපෙනුනද අද දින එහි පැවැත්වෙන අවුරුදු උත්සවයට ලක ලෑස්ති වන ගම්මුන්ගේ හඬ හොඳින් ඇසුණි. බංගලාවේ අත් උදව්වට පැමිණෙන රන් එතනාගේ දියණිය වන සිරිමලී ගෙවී ගිය දින දෙකට දෙව්මිණිගේ ලඟම හිතවතිය බවට පත්ව සිටියාය. ඇගේ ඇවිටිල්ල නිසාම කෙසේ හෝ අවසානයේ අවුරුදු උත්සවය බැලීමට යාම පිණිස සිය දෙමාපියන්ගෙන් අවසර ලබාගැනීමට පෙර දිනයේ දෙව්මිණි සමත් වූවාය.
"අනේ අම්මේ, මං සිරිමලිත් එක්කනෙ යන්නේ. වැඩිය හවස් නොවී එන්නංකෝ," දෙව්මිණි සිය මැසිවිල්ල ඇරඹුවේ එලෙසිනි.
"මං සැරයක් කිව්වනේ, දුවට ඕවයෙ ගිහිල්ලා පුරුද්දක් නෑ. මේ ගමේ ගොඩේ මිනිස්සු එක්ක ඕනවට වැඩි ආශ්‍රයක් ඕන නෑ."
"මං මෙහෙම අවුරුදු උත්සවයක් කවදාවත් දැකලා නෑනේ අම්මේ. එහෙ එංගලන්තේ තියන ඒව වගේ නෙවෙයිනේ, මෙහෙ තමයි නියම අවුරුදු තියෙන්නේ. ඇයි ගමේ මිනිස්සුන්ට අම්මා වැඩිය කැමති නැත්තේ?"
"මං විතරක් නෙවෙයි, අප්පච්චිත් කැමති නෑ. අන්තිමට ඔය මිනිස්සු කරේ නගින්න එනවා. ඔය සිරිමලී එක්ක උනත් වැඩි බජනයක් ඕනේ නෑ." මවගේ තීරණයේ වෙනසක් නැත.
එහෙත් දෙව්මිණිද උත්සාහය අත් හැරියේ නැත. "ඔන්න ඉතිං අම්මා ඒ පාර ඒ ළමයවත් අල්ල ගත්තා. ඉතිං අම්මේ සිරිමලීවත් හිටියේ නැත්තං මට මේ මුළු නිවාඩුවම පාළුවෙන් තමයි ඉන්න වෙන්නේ. මගේ වයසේ වෙන කවුරුත් නෑනේ මෙහෙ කතා කරන්නවත්."
"හැම එකටම මොකක් හරි එකක් තියනවා කියන්න. මේ දවස් දෙකටම හැදිලා. මෙහෙ නංගිලා එන්න කියලම බල කළ නිසා ආවා මිසක් මමනං පොඩ්ඩක්වත් කැමති නෑ මේ ආපු ගමනට."
ඒ මොහොතේ වත්ත පහළට ගොස් සිටි දෙව්මිණිගේ අප්පච්චිත් මාමාත් ආළින්දයට ගොඩ වූ අතර ඇගේ මුහුණ මැළවී තිබූ අයුරු දුටුවෝය.
"මොකද මේ අම්මයි දුවයි ලොකු කතාවක වගේ?" මාමා ඇසුවේය.
"මේ අපේ දුවට හෙට අවුරුදු උත්සවේ බලන්න යන්න ඕනෙලු."
"නෑ නෑ, ඕවයෙ යන්න ඕනේ නෑ." අප්පච්චි ගත් කටටම කීවේය.
"අනේ අප්පච්චි..."
"ඔන්න ඔහේ ඒ දරුවා ගිහිං ආපුදෙං අයියේ, හැමදාම දකින්න ලැබෙනවැයි," මාමා දෙව්මිණිගේ සහයට ඉදිරිපත් විය, "දෝණි මේ කොච්චර කාලෙකින්ද ලංකාවට ආවේ. එහෙව් එකේ පොඩ්ඩක් ගම රට බලලා නිදහසේ හිටියාවේ. අපේ සිරිමලී කෙල්ල එක්ක යැව්වනම් හරි, තනියම යවන්න ඕන නෑ."
"සිරිමලී එක්ක තමයි යන්නේ මාමේ." දෙව්මිණිගේ හිසේ මලක් පිපුණා හා සමානය.
"ආ ඒවත් ලෑස්ති කරගෙන තමයි අපෙන් අහන්නේ." අප්පච්චි දරදඬු හඬින් කීවේය.
"මං අහගෙනයි කට්ටියගේ කතාව," තේ බන්දේසිය රැගෙන නැන්දා එතැනට පැමිණියේ ඒ මොහොතේදීය. "දෙව්මි දූ අවුරුදු උත්සවේ බලලා ආපුදෙං අයියේ. අපිත් පුංචි කාලේ ඉතිං ඒවට ගියානේ. අපේ දූ මේ සෑහෙන කාලෙකින්නේ ලංකාවට ආවේ." නැන්දා දෙව්මිණිගේ හිසද අතගාමින් කීවාය.
"නැන්දගෙයි මාමගෙයි හුරතලේනං වැඩියි මෙයාට. එහෙනං සන්ධ්‍යා, ඔයත් යන්න දුවත් එක්ක," අවසානයේදී අප්පච්චි අම්මාට කිව්වේය.
"අනේ මට බෑ ඔය මහ අව්වේ ඔය බොරු වැඩ වලට යන්න." අම්මා මුහුණ හකුළාගෙන කීවාය.
"ආ ඒකට කමක් නෑ, අපේ සිරිමලී කෙල්ල හරි හොඳ එකී. අපෙ දෝණිව හොඳට බලාගනියි."
"දෙව්මිණි, ඔන්න මේ නැන්දලා මෙච්චර කියන නිසා අපි ඔයාට යන්න දෙනවා, තේරුණාද? හැබැයි දවල් කෑම වෙලාව වෙද්දි එන්න ඕනේ." අප්පච්චි අවසන් තීන්දුව දුන්නේය.
"වැඩිය එක එක්කෙනා එක්ක කතාවට යන්නෙ එහෙම නෑ. ගිහින් තමන්ගෙ පාඩුවේ ඉඳලා පරක්කු නොවී එන්න ඕනේ." අම්මාද එක් කළාය.
"හා අම්මේ," සිනහවෙන් මුව පුරවාගෙන දෙව්මිණි කීවාය. නැන්දාටද හාදුවක් දී ඇය තේ කෝප්පයද ඔසවාගෙනම මුළුතැන්ගෙය දෙසට දිව ගියේ සිරිමලීට ආරංචිය කියන්නටය.
======================================
කතාව 02:
මගෙ පළවෙනි රස්සාවෙ පළවෙනි දවස. පරක්කු නොවී යාගන්න ඕනෙ නිසා බස් හෝල්ට් එකට ආව ගමන් අද්දන්න ඔන්න මෙන්න තිබ්බ බස් එකේ එල්ලුනා. 138 බස් කොච්චර තිබ්බත් මේ වෙලාවට හැම බස් එකේම සෙනග. කමක් නෑ, වැඩි දුරක් යන්න නෑනේ. ෆුට් බෝඩ් එකේ යන්න වුනත් කමක් නෑ කියලා සාරි පොටයි බෑග් එකයි අත් දෙකෙන්ම බදාගෙන දොර ලඟ උඩම පඩියේ හිටගෙන ඒ ලඟ තිබ්බ කණුව අල්ලගත්තා. බස් එක අද්දනවත් එක්කම කන ලඟින්ම ඇහුණේ බැණුමක්.
"ඔතන ඉඳං වැටිලා බෙල්ල කඩාගන්නෙ නැතුව මෙන්න මේ උඩට නගින්න!"
කවුද බොලේ මේ? මං ඔළුව උස්සලා කරකවලා බැලුවා. ම්හු, අඳුරන මූණක්නං නෙවෙයි. ඒත් ඒ මූණ හොඳට බලාගන්න කළින් ගහපු බ්‍රේක් පාරක් නිසා මට අතයි හිතයි ඔක්කොම මගේ සමබරතාවය රැකගන්න යොදවන්න සිද්ද වුනා. ඒ ඉවර වෙලා බලද්දි ඒ මූණ එතන නෑ. සෙනග පීරගෙන ඉස්සරහට ඇදිලා යන දම් පාටට හුරු නිල් පාට අත් දිග කමිසෙකුයි බස් එකේ උඩ පොල්ල අල්ලගෙන හිටපු වම් අතේ තිබ්බ රිදී පාට ඔරලෝසුවයි විතරයි මට පෙනුණේ. ඒක හරියටම අපේ තාත්තාට තිබ්බ ජාතියේ ඔරලෝසුවක්. පොඩි කාලේ ඉඳන් තාත්තගෙ ඒ ඔරලෝසුව මට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අරුමෝසම් බඩුවක් වුනා. කොහොමහරි, ඒ මට උදේ පාන්දර සැරයක් දාපු එක්කෙනා මට ෆුට් බෝඩ් එකෙන් උඩට එන්න ඉඩක් ඉතිරි කරලා සෙනග මැද්දේ නොපෙනී ගියා. මාත් ඉතින් මගේ මොකෝ කියලා ඒ ඉඩට ගොඩ වෙලා හෝල්ට් තුන හතරක ඉතිරි දුර දෙයියනේ කියලා ගිහිල්ලා බැස්සා. ඔෆිස් එකට එතන ඉඳන් මීටර් පණහක් විතර පයින් යන්න ඕනේ. කොහොමහරි, අටයි කාල වෙද්දි මං ඔෆිස් ලොබී එකේ අමුත්තන්ට වෙන් වෙච්ච පුටුවක වාඩි වෙලා හිටියා එච් ආර් එකෙන් ඇවිත් මට කතා කරනකල්. මගේ ඉස්සරහා තිබ්බ ලොකු මේසෙත්, ඒ පිටිපස්සේ තිබ්බ කැරකෙන පුටුවත් මං දිහා බලං හිටියා. ඒ තමයි මට මේ ඔෆිස් එකේ හම්බ වෙන තැන. රිසෙප්ෂන් එක. මගේ පළවෙනි රස්සාව. රිසෙප්ෂනිස්ට්. එච් ආර් ට්‍රේනිං කෝස් එකෙන් ඉගෙනගත්ත දේවලුයි සහතික ටිකයි ඇරුණාම මේ කරන්න තියන රාජකාරිය ගැන මට කිසිම පළපුරුද්දක් තිබ්බෙ නෑ. කොහොමහරි, ඉන්ටවිව් දෙකකට පස්සෙත් මාව මෙතනට තෝරගත්තා කියන්නේ මට මොකක් හරි කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් මේ ඔෆිස් එකේ අයට තියනවා. ඉතිං මට මොකද මං ගැන විශ්වාස කරන්න බැරි!
අළුත් රිසෙප්ෂනිස්ට් විදිහට මුළු ස්ටාෆ් එකේම හැමෝම ලඟට එක්ක ගිහින් මාව අඳුන්නලා දුන්නේ එච් ආර් එකේ නයනි. මට වැඩ පුරුදු කරන්න බාර වෙලා තිබ්බෙත් නයනිට. හොඳ ළමයෙක්. කොහොමහරි පළවෙනි දවසනම් අවුලක් නැතුව ගෙවුණා. අඩුමගානේ ඔෆිස් එක ඇතුළෙදි අවුලක් නොවී ගෙවුණා. ඒත් උදේ පාන්දරම සුබ ගමනක් යද්දි ඇඟට කඩාගෙන පැනපු අර බස් එකේ හිටපු කුකුල් කේන්තිකාරයාවනම් මතක් වෙද්දි හිතට ආවෙම තරහක්.
ඒත් ඒ එදා රෑ නින්දට යනකල් විතරයි.
ඇහැ පියවේගෙන ආපු ගමන්ම මාව ආපහු උඩ විසි වෙලා ඇහැරුණා. ඒ බැණිල්ල තාමත් හිතේ හොල්මන් කරනවා. මං ඇඳේ ඉඳගෙනම දත්මිටි කෑවා. මොන කෙහෙල්මලක්ද මේ? අලුත් තැනක අලුත් මිනිස්සු එක්ක අලුත් රස්සාවක ලැබිච්ච අලුත් අත්දැකීම් එක්ක ගෙවුණු මුළු දවසක්ම තියෙද්දි, ඒ දවස මුස්පේන්තු කරන්න උදේ පාන්දරම ඇඟට ගොඩ වෙච්ච මිනිහගේ බැණිල්ල මතක් වෙන්නෙ මොන එහෙකටද මට! අඩුගානෙ මූණවත් හරියට දැක්කෙ නෑ. අඳුරන කෙනෙක් නොවෙන බව විතරයි යාන්තමට දැක්කෙ. මං ඇඳෙන් බැහැලා ගිහින් වතුර වීදුරුවක් පුරෝගෙන බීගෙන බීගෙන ගියා. මල්ලිගෙ කාමරේ තාම ලයිට් දාලා. කම්පියුටරේ එල්ලිලා ඇති. එයා පදිංචි වෙලා ඉන්නේ ගෙදර නෙවෙයි, ඒක ඇතුලෙනේ. සාලේ ටීවී එකේ දේශපාලන සාකච්ඡාවක් ඇහෙන්නේ තාත්තා එතන ඇති. අම්මත් සාලේ පුටුවක නිදා වැටෙනවා පේනවා. මං ආයෙමත් කාමරේට ගියා. හෙට අඳින ඇඳුම් ලෑස්තියි. ආයෙ හෙටත්නම් සාරියක් අඳින්න බෑ. ඒක අඳින්න ගිහිල්ලා තමයි අද පරක්කු වුනේ. කොහොමටත් ඒ ඔෆිස් එකේ ස්මාර්ට් කැෂුවල් ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන්නේ. සාරි අත්‍යවශ්‍ය නෑ. ඒක ලොකු දෙයක්.
මං ආයෙත් නිදාගන්න ලෑස්ති වුනා. ඇස් දෙක පියවේගෙන ආවා විතරයි, ඒ ගමන මෙන්න දම් නිල් කමිසෙකුයි රිදී පාට අත් ඔරලෝසුවකුයි!
ඇයි වදේ! උපන් තේකටම මෙහෙම දෙයක් මට වෙලා නෑනේ! කොයිතරං පිරිමි යාළුවෝ ඉඳලා තියෙනවද පන්ති වල මට. අද ඔෆිස් එකෙත් හැන්ඩියෝ දෙතුන් දෙනෙක් හිටියා. ඉතින් එහෙම තියෙද්දිත් මේ මොකද්ද මේ සිද්ද වෙන විකාරේ! මං ඇඳ උඩ ඉඳගත්තා. දොහොත් මුදුන් දීලා වැඳගත්තා. හොඳට නින්ද යන්නෙ නැති දවසට විතරක් රෑට කියන්න මතක් වෙන පන්සිල් පදයි, තුනුරුවන් වඳින ගාථායි කිව්වා. ඒත් මදියි කියලා හිතිච්ච නිසා විනාඩි දෙකක් විතර භාවනාත් කළා. අට වසරෙදි ඩ්‍රැකියුලා කියවපු කාලෙදිවත්, මල්ලිගෙ කම්පියුටරේ මූවි ෆෝල්ඩර් එකේ තිබිලා සුපර් නැචුරල් සීරීස් එකේ එපිසෝඩ් එකක් බලපු දවසෙදිවත් මං ගාථා කිව්වා මිසක් භාවනානං කළේ නෑ කියලා මට හොඳට මතකයි. කමක් නෑ, මේකත් එසේ මෙසේ හොල්මනක් වෙන්න බෑ.
මං ආපහු නිදාගත්තා. කොට්ටෙනුත් ඔළුව වහගත්තා. හුස්ම ගන්න විතරක් පොඩි ඉඩක් තියාගෙන.
"ඔතන ඉඳං වැටිලා බෙල්ල කඩාගන්නෙ නැතුව මෙන්න මේ උඩට නගින්න!"
ඒ වචන මට ආපහු ඇහුනා. ඒත් ඒ ගමන ඇහුනේ මට බැණුමක් නෙවෙයි. සැරපරුෂ කටහඬකින් කියවෙච්ච ආරක්ෂාවත්, සැලකිල්ලත් පිරිච්ච වචන පේළියක්. හරියටම... හරියටම... අපේ තාත්තගේ බැණුම් වගේ. ඒ වචන ඇහිච්ච ගමන් මං ඒ අඳුරන මූණක්ද කියලා බැලුවේ ඇයි? ඒ ඇහුණේ බැණුමක් කියලා මට හිතුණට, ඒ ආරක්ෂාවත්, සැලකිලිමත් බවත් මගේ යටි හිතට දැනුණ නිසාද? සමීප ලෙංගතු කෙනෙක්ගෙන් මිසක් ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි නිසාද? ජීවිතේටම තාත්තාගෙන් මිසක් ඒ වගේ දෙයක් වෙන කිසිම කෙනෙකුගෙන් දැනිලා නැති නිසාද?
උත්තරයක් හොයාගන්න කළින් මට නින්ද ගියා.
*****
ඔය උඩින් කිව්වේ මං මේ වෙද්දි ලියන්න පටන්ගෙන තියෙන, ඒත් බාගෙට නතරවෙලා තියෙන කතාන්දර දෙකක පටන්ගැන්මෙන් පොඩි කොටස බැගින්. මගේ බ්ලොග් යාළුවන්ට මීළඟට මගේ බ්ලොග් නවකතාවක් විදිහට කියවන්න ඕනෙ
'කතාව 01' ද, '
කතාව 02' ද, නැත්නම් මේ එකක්වත් නැතිව තවත්
ෆැසිනෝවෙල් කතාවක්ද කියලයි මට අහන්න ඕනෙ. හැබැයි තුන්වෙනි ෆැසිනෝවෙල් කතාවක්නම් තාම ලියන්න පටන්ගෙනවත් නෑ. ඉතිං ඔබේ ඡන්දය කුමන කතාන්දරයටද? :)