200. Me Before You...

Will Traynor and Louisa Clark - from the movie 'Me Before You'
ක්ලාර්ක්,

ඔයා මේ ලියමන කියවද්දි මං හිතන්නේ සති දෙක තුනක් විතර පහු වෙලා ඇති (ඔයාගෙ අලුතෙන් හොයාගැනුණු සංවිධානාත්මක කුසලතා එක්ක වුණත් ඔයාට සැප්තැම්බර් මුළට කළින් පැරිසියට යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ). පදික වේදිකාව උඩ කොයිම විදිහකින්වත් කෙළින් තියාගන්න බැරි අර යකඩ පුටුවක් උඩට වෙලා ඔයා දැන් ඔය බොන කෝපි කෝප්පෙ හොඳ රසට සුවඳට ඇති කියලා මං හිතනවා. කිඹුලා බනිස් ගෙඩියත් උණු උණුවෙන්ම ඇති. මාර්ක්විස් හෝටලේ හොඳ තැනක්. ආපහු දවල් කෑම වේලටත් ඔතනට එන්න බලාපොරොත්තුවක් තියෙනවනං, ඔතන මාළුත් සෑහෙන්න හොඳයි. ඔතන ඉඳන් වම් පැත්තට හැරිලා බැලුවොත් ඔයාට පෙනෙයි ලෙ'ආර්ටිසන් සුවඳ විළවුන්හළ. මේ ලියුම කියවලා ඉවර වුණාට පස්සේ ඔයා එතනට ගිහින් පැපිලොන්ස් එක්ස්ට්‍රීම් වගේ නමක් තියෙන ජාතියක් තියෙනවා (නම හරියටම මතක නැහැ), ඒක අරගන්න. මට කොයිවෙලෙත් හිතුණ දෙයක් තමයි ඒ සුවඳ ඔයාට හොඳට ගැලපෙයි කියන එක.
 

හරි එහෙනං, උපදෙස් ඉවරයි. කරුණු කීපයක් තියෙනවා මට ඔයාට කියන්න ඕන වුණ, කෙළින්ම ඔයාට කියන්න තිබුණ, ඒත් 1) මං කියන එක අහං ඉන්න එක පැත්තක තියලා ඔයා අඬන්න පටන්ගනියි, 2) මං මේ කියන්න හදන එක ඔයා මට කියන්න දෙන්නෙ නැති වෙයි. කොයි වෙලෙත් ඔයාගෙ කියවිල්ලනේ.
 

ඉතින් මේකයි මට කියන්න ඕන වුණේ: මයිකල් ලෝලර්ගෙන් ඔයාට ලැබුණ මුල් කවරයේ තිබ්බ චෙක් එක මුළු මුදලම නෙවෙයි, ඒක ඔයාට රස්සාවක් නැතුව ගෙවන්න වෙන මුල් සති කීපයටත් ඔයාට පැරිසියට එන්නත් දීපු පොඩි තෑග්ගක් විතරයි.
 

ආපහු එංගලන්තෙට ගියාට පස්සේ, මයිකල්ගේ ලන්ඩන් කාර්යාලයට මේ ලියුම අරගෙන යන්න, එතකොට එයා දෙයි ඔයාගෙ නමින් මං වෙනුවෙන් එයා ඇරපු ගිණුමක ලියකියවිලි. ඒ ගිණුමේ තියෙනවා ඔයාට නවතින්න හොඳ තැනක් ගන්නත්, ඔයාගේ උපාධියටත්, ඒ උපාධිය කරනකල් ඔයාට ජීවත් වෙන්නත් ඕන කරන මුදල්.
 

මගේ අම්මලාට මේ ගැන දැනුම් දෙයි. මේ ලියුමත්, මයිකල් ලෝලර්ගේ ලියකියවිලිත් නිසා ඒ ගොල්ලෝ වැඩි කලබලයක් කරන එකක් නෑ කියලා මං හිතනවා.
 

ක්ලාර්ක්, මට දැන් ඇහෙනවා වගේ ඔයා මහ හයියෙන් හුස්ම ගන්න හැටි. මේක ගැන බයවෙන්නවත්, මේක අතඇරලා දාන්න හදන්නවත් එපා - ඔයාගෙ ඉතිරි මුළු ජීවිත කාලෙටම ඔහේ පුටුවක් උඩට වෙලා පස්ස රත් කර කර ඉන්න පුළුවන් වෙන තරං සල්ලියක් ඒකෙ නෑ. ඒත් ඒකෙන්, ඔය අපි දෙන්නම ගම කියලා කියන, ලෝකෙන් හැංගිච්ච පොඩි නගරෙනුත්, මෙච්චර කල් ඔයා ගන්න ඕනෙ කියලා හිතාගෙන ගත්ත තීරණ වලිනුත් ඔයාට නිදහස් වෙන්න පුළුවන් වෙයි.

මං මේ සල්ලි ඔයාට දෙන්නෙ, ඒ ගැනම හූල්ල හූල්ල ඔයා කල්පනා කරනවා බලන්නවත්, ඔයාව ණයකාරියක් කරවන්නවත් නෙවෙයි. මේක කොහෙත්ම මගෙන් ලැබෙන මළ ඉලව් සිහිවටනෙකුත් නෙවෙයි.


මං ඒ සල්ලි ඔයාට දෙන්නෙ, තව දුරටත් මාව සතුටු කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ ඉතුරු වෙලා නැති වුණත්, ඔයාට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් මේ ලෝකේ තියෙන නිසා.
 

මං දන්නවා, මාව අඳුනගන්න ලැබුණ එකෙන් අන්තිමට ඔයාට දුකක්, වේදනාවක් ඉතුරු වුණා කියලා. ඒත් ඔයාට මාත් එක්ක තියෙන කේන්තිය අඩු වෙච්ච කාලෙක, ඔයාගෙ හිත හදාගන්න පුළුවන් වෙච්ච කාලෙක ඔයාට තේරෙයි මට මං කරපු දේ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැති බවත්, ඔයා මාව මුණ නොගැහී හිටියනම් ඔයාට ලැබෙන්න තිබුණ ජීවිතේට වඩා හොඳ, ඉහළ ජීවිතයක් මාව මුණගැහුණ නිසා ඔයාට ලැබුණ බවත්.
 

ඔයාගේ අලුත් ලෝකෙට හුරු වෙනකල් ඔයාට ටිකක් අමාරු දවස් කීපයකට මූණ දෙන්න වෙයි. කෙනෙක්ගේ ආරක්ෂිත කලාපයෙන් එකපාරටම එළියට විසි වෙනවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒත් මං හිතනවා ඒ හැම දෙයක්ම මැද ඔයාගෙ හිතට ලොකු ප්‍රාණවත් බවක් දැනෙයි කියලා. එදා මුහුදෙ කිමිදිලා උඩ ආපු වෙලාවේ ඔයාගේ මූණෙ තිබ්බ සතුට මට හැමදේම කිව්වා; ඔයාගේ හිත ඇතුලේ ලොකු ගින්නක් තියෙනවා ක්ලාර්ක්. බය නැති කමක්; අලුත් දේවල් හොයාගෙන යන්න, අත්විඳින්න තියෙන ඇම්මක්. ඒත් ඔයා මෙච්චරකල් ඉඳලා තියෙන්නේ අනිත් හුඟක් දෙනා වගේ ඒ ගින්න යටපත් කරගෙන.
 

මං කියන්නෙ නෑ ඔයාට උස ගොඩනැගිලි වලින් බිමට පනින්නවත්, තල්මස්සු එක්ක පීනන්නවත් කියලා (හැබැයි එහෙම කරනවා කියලා හිතන්න මං හිත යටින් කැමති වෙයි සමහරවිට). ඒත් ජීවිතේ ගැන, ලෝකෙ ගැන බය නොවී ජීවත් වෙන්න. ජීවිතේට එක තැන නතර වෙලා පල් වෙන්න දෙන්න එපා, ඇදගෙන යන්න. ඔයාගෙ අර මී මැසි කලිසම අඳින්න ලැජ්ජ වෙන්න එපා, ඒක ආඩම්බරෙන් අඳින්න. ඒ එක්කම, ඔයා මොකෙක් හරි විගඩංකාරයෙක් එක්ක එකලාසයක් වෙන්න එහෙම හිතාගෙන ඉන්නවානං, මතක ඇතුව මෙයින් කොටසක් පස්සෙ කාලෙක ගන්න කොහෙ හරි අරන් තියලා තියන්න. කවදාහරි ප්‍රයෝජනේට ගන්න පුළුවන් ඉතුරුවක් තියාගන්න එක හිතට සහනයක්. ඒ දේට මගෙනුත් සම්මාදමක් ලැබුණා කියලා දැනෙන එක මටත් සහනයක්.
 

අන්තිමට මේ ටිකත් කියන්න ඕනේ. ඔයා මගේ හදවතේ සලකුණු වෙලා ඉන්නෙ ක්ලාර්ක්. ඔයාගෙ විකාර ඇඳුම් එක්ක, කමකට නැති මෝඩ විහිළු කතා එක්ක, ඔයාට දැනෙන කිසිම දෙයක් හංගගෙන ඉන්න බැරි ඔයාගේ අව්‍යාජකමත් එක්ක ඔයා මං ඉස්සරහට ඇවිදගෙන ආපු ඒ මුල්ම දවසේ ඉඳන් ඔයා මගෙ හදවතේ හිටියා. මේ සල්ලි වලට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණෙට වඩා ලොකු ප්‍රමාණෙකින් ඔයා මගේ ජීවිතේ වෙනස් කළා.

මං ගැන වැඩිය හිතන්න එපා. ඔයා කඳුළු පෙරාගෙන මූණ බෙරි කරගෙන ඉන්න හැටි හිතන්න මට ඕනෙ නෑ. හොඳින් ජීවත් වෙන්න, එච්චරයි.


ජීවිතේ විඳින්න.


ආදර, 

විල්


~~~
Translated from 'Me Before You' by Jojo Moyes


199. තවත් ගී දාසයක්...

භාරත ගී වින්දන ගැන ලියපු සටහනේදී මම කිව්වා මගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීත ගැනත් සටහනක් ලියන්න හිතාගෙන ඉන්න බව. ඔන්න මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන ලියන්න.

1. Westlife සංගීත කණ්ඩායමේ බොහෝ ගීත වලට මම හුඟක් කැමතියි. මේ ඒ අතුරින් වඩාත් කැමතිම ගීතය. මෙයට අමතරව Seasons in the Sun, My Love ගීත දෙකත් හරිම ආසාවෙන් රස විඳින ගීත.

You raise me up, so I can stand on mountains;
You raise me up to walk on stormy seas;
I am strong when I am on your shoulders;
You raise me up to more than I can be.


2. Boyzone සංගීත කණ්ඩායමේ මම කැමතිම කටහඬ තිබුණේ මේ Ronan Keating ගායකයාට. ඔහු තනියම ගායනා කරන මේ ලස්සන ගීතය, නිකුත් වෙච්ච කාලයේ ඉඳලා මේ වෙනකල්ම මම හරිම ආදරේ කරන ගීතයක්.

The smile on your face lets me know that you need me.
There's a truth in your eyes saying you'll never leave me.
The touch of your hand says you'll catch me wherever I fall.
You say it best when you say nothing at all.


3. Disney චිත්‍රපට සමග නිකුත්වෙන ගීතත් බොහෝ වෙලාවට ඒ චිත්‍රපට වාගේම ආදරේ දිනාගන්නවා. මේ, තියෙන්නේ මම කැමතිම Disney චිත්‍රපට ගීතය. Tangled චිත්‍රපටය වෙනුවෙන් මෙය ගායනා කරන්නේ එහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬකවාපු Mandy Moore සහ Sachary Levy. මෙය හැරෙන්නට මම කැමතිම අනිත් Disney චිත්‍රපට ගීත තමයි Aladdin චිත්‍රපටයේ It's a Whole New World ගීතය සහ Pocahontas චිත්‍රපටයේ Colors of the Wind ගීතය.

All those days watching from the windows
All those years outside looking in
All that time never even knowing
Just how blind I've been
Now I'm here blinking in the starlight
Now I'm here suddenly I see
Standing here it's all so clear
I'm where I'm meant to be


4. ඒ දවස් වල මම ආච්චිත් එක්ක SLBC ගුවන් විදුලි සේවයේ විකාශය වුණ House Wife's Choice වැඩසටහනට කන් දෙන්න පුරුදු වෙලා හිටියා. ඒ වැඩසටහනෙන් ගොඩක් වෙලාවට ඇහුණේ Cowboy Songs. Jim Reeves, Marty Robbins, Hank Snow මම අඳුනගත්තේ එතනින්. මේ ගීතය Jim Reevesගේ සුන්දර ගැඹුරු හඬින් ගැයෙන ආදරණීය ගීතයක්.

Adios amigo, adios my friend
The road we have travelled has come to an end
When two love the same love, one love has to lose
And it's you who she longs for, it's you she will choose


5. මම ගිය ප්‍රාථමික පාසැලේ බටහිර සංගීතය වෙනුවෙන් අපිට දීපු ගීත පොතක් තිබුණා. ගුරුතුමිය ඒ පොතෙන් නියම කරන ගීතය ඊළඟ දවසෙදි හොඳට පාඩම් කරගෙන ඇවිත් පංතියේදී ගායනා කරන අයට රතු තරු ලකුණු ලැබුණා. ඒ වැඩේ මට බොහොම අමාරු වුණා. ඒත්, කිසිම ආයාසයක් නැතුව මට ඉබේම පාඩම් හිටපු ගීතය තමයි මේක. මං හිතන්නේ ආච්චිත් එක්ක පැරණි බටහිර ගීතවලට කන් දීලා හිතේ පැලපදියම් වෙලා තියෙන්න ඇති, සින්දු කියලා ගත්ත මුල්ම රතු තරුව එදා හම්බවුණා. Jamaica Farewell. අන්තර්ජාලයේ විවිධ ගායකයන්ගේ හඬින් මේ ගීතය අහන්න ලැබුණත්, මම දන්න හැටියට මුල් ගායකයා Harry Belafonte.

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town


6. 1999 වසරේදී නිකුත් වූ මෙම Millennium Prayer ගීතය එළැඹුණු නව සහශ්‍රය වෙනුවෙන් වූ ප්‍රාර්ථනාවක්. Cliff Richard ගායකයාගේ මෙම ගීතයට අමතරව Christmas Time ගීතයටත් මම හරිම කැමතියි.

Our Father who art in heaven,
Hallowed be thy name.
Thy Kingdom come. Thy will be done
On earth as in heaven.


7. Zorro චිත්‍රපටය වෙනුවෙන් Mark Anthony සහ Tina Arena ගයන මේ ගීතයේ සංගීතයත් ඔවුන් දෙදෙනාගේ හඬ මුසුවත් සමග දෑස් පියාගත්තාම කොහේදෝ ඈතක අතරමං වෙනවා.

Moon so bright night so fine
Keep your heart here with mine
Life's a dream we are dreaming
Race the moon catch the wind
Ride the night to the end
Seize the day stand up for the light
I want to spend my lifetime loving you
If that is all in life I ever do


8. ගුවන් විදුලියෙන් අහලා පුරුදු, ගොඩක් කැමති ගීතයක්. මේ ගායකයාගේම Country Roads ගීතයත් හරිම ලස්සන මම ආස තව ගීතයක්. You Fill Up My Senses - John Denver

You fill up my senses like a night in the forest,
like the mountains in springtime, like a walk in the rain,
like a storm in the desert, like a sleepy blue ocean.
You fill up my senses, come fill me again.


9. මම පාසැල් ගිය වෑන් රථයේ ගුවන් විදුලිය හරහා දවස ගානේ, උදේ දවල් ඇහිලාම, නොදැනීම රසවිඳින්න, ආදරේ කරන්න පෙළඹුණ ලස්සන ගීතයක්. Right Here Waiting for You - Richard Marx

Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you


10. Celine Dione ගායිකාවගේ ගීත බොහොමයකට මම ඉතාම කැමතියි. මේ ඉදිරිපත් කරන ගීතය ඇරෙන්න My Heart Will Go On සහ All Coming Back to Me ඒ අතරින් විශේෂයි.

When you want it the most there's no easy way out
When you're ready to go and your heart's left in doubt
Don't give up on your faith
Love comes to those who believe it
And that's the way it is



11. Oscar Harris ගායකයා ළමුන් පිරිසක් සමග ගයන මේ ගීතය තරමක් පැරණියි. ඉතාම සුන්දර ගීයක්. ඔහුගේ කටහඬ ඉතාමත් අපූරුයි.

Some are black, some stay white
Is it wrong or is it right? 
Feeling strong, feeling light
Every day and every night


12. Heal the World ගීතය පිළිබඳ විශේෂ හැඳින්වීමක් අවශ්‍ය නැහැ කියා හිතනවා. Michael Jackson ගායකයා මනුෂ්‍යත්වය වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් ගැයූ ගී සදා අමරණීය වනු ඇති බව මගේ හැඟීමයි.

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me



13. A Walk to Remember චිත්‍රපටයේදී එහි ප්‍රධාන චරිතය රඟ දක්වන Mandy Moore විසින් ගයනු ලබන Only Hope ගීතයටත් මම ඉතාම කැමතියි. ඒ සමහරවිට ඒ A Walk to Remember නිසා වෙන්නටත් ඇති. :)

There's a song that's inside of my soul
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold
But You sing to me over and over and over again


14. ඉංගිරිස් සින්දු වල නෙවෙයි සිංහල සින්දු වලවත් තේරුමක් නොතේරෙන තරම් චූටි කාලේ ඉඳන් මම මේ සින්දුවට, ඒ වචන ගලාගෙන යන රිද්මයට හරිම ආසයි. Sealed with a Kiss - Jason Donovan

Though we've got to say goodbye for the summer
Darling, I promise you this
I'll send you all my love everyday in a letter
Sealed with a kiss


15. ආදරේත් එක්ක හිතට දැනෙන නුහුරු, මිහිරි හැඟුම් ගැන මේ තරම් ලස්සනට ගැයෙන වෙන ගීතයක් තියෙනවද මන්දා. ඉස්සර ඉඳන්ම ගොඩක් ආස ගීතයක්. Top of the World - The Carpenters

I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world


16. මේ Wooden Heart ගීතයත් නොයෙක් වර විවිධ ගායක ගායිකාවන් ගයා තිබෙනවා. ඒ අතරින් මම මෙහි පළ කරන්න තෝරාගත්තේ G. I. Blues චිත්‍රපටයේ Elvis Presley ගායනා කරන අපූරු ගීතය.

Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
'Cause I don't have a wooden heart







198. ඇය...

මහාචූල තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වය ලබාගත් චෝරනාගයන් අභිෂේක ලබා දොළොස් වසරක් ගෙවී තිබුණි. රජවාසළ ඉදිරි දොරටුවේ ප්‍රධාන ආරක්ෂකයා ලෙසින් එදින රාත්‍රියේද සුපුරුදු ලෙස සේවය කරමින් සිටි සිව එක්වරම අනෙක් සෙබළුන් හා ඇතුළු අංගනය වෙත වහා දිව ගියේ එහි ඇති වූ ඝෝෂාව කන වැකීමෙනි. උයනේ වූ ශෛලමය ආසනය මත චෝරනාග රජු වැතිර සිටියේය. ඔහු වටා රැස්ව සිටි රාජ පුරුෂයෝද උසස් නිලධරයෝද ඔහු වෙත නැඹුරු වී ඔහු හා කතා කරන්නට උත්සාහ දරමින් සිටියෝය. ඒ අසළින් සිටගෙන සිටියේ අනුලා දේවියයි. සිදු වූයේ කිමෙක්දැයි ප්‍රධාන ඇමතිවරයෙකු ඇගෙන් විමසා සිටියද දැඩි කම්පනයකට පත්ව සිටි ඇගෙන් එයට පිළිතුරක් නොලැබුණි. රිදී කුසලානය රැගත් ඇගේ දෑත් ඒ වන විටත් වෙව්ලමින් තිබූ අයුරු සිව දුටුවේය. මොහොතකින් රජු වටා රැස්ව සිටි පිරිස රජුගේ දේහය ඔසවාගෙන රජ වාසළ තුලට රැගෙන ගියෝය. ඔවුන් පසුපසින් යන්නට පා එසවූ සිව ආපසු හැරී අනුලා දේවිය දෙස බැලුවාය. උයන තුළ හුදෙකලා වූ ඇය සියතේ වූ කුසලානය ඉහළට ඔසවා එහි වූ පානය මුවට හලා ගැනීමට සූදානම් වන බව දුටු ඔහු වහා පැන කුසලානය ඈ අතින් විසි වන ලෙස පහරක් ගැසුවේය. අනතුරුව රාජකීයයන් ඉදිරියේ ගරුසරු දක්වන ලෙසින් ඈ ඉදිරියේ හිස නමා සිටියේය.

මොහොතකින් වම් කම්මුල පුපුරු ගසවන තරමේ අතුල් පහරක් ඔහුගේ මුහුණ හරහා වැදුණි. "ඇයි මාව වැළකුවේ?" ඇගේ හඬ ආවේගශීලී විය.

"දේවීන් වහන්ස, ඔබ මෙහි රැඳී සිටීම සුදුසු නැහැ. මාළිගාව තුළට යන්න." ඇගේ පැනය මග හැරි සිව ඉල්ලා සිටියේය.

"කවුරුන්ද දන්නේ එහි තිබුණේ වස කියා." එවර අනුලාවගේ හඬ ශෝකයෙන් බරව තිබුණි. "රාත්‍රී භෝජනයෙන් පසු මඳ වේලාවක් උයනේ රැඳෙමින් මධු පානය කරන්නට ඔහුව එකඟ කරගත්තේ මමයි. පසු ගිය දිනෙක දුර්ලභ මධු විශේෂයක් බව පවසා රජ වාසළ පඬුරු ලෙස මෙය එවූ චෞරයා කෙසේ හෝ මා සොයාගත යුතුයි!............ ඇයි නුඹ නිහඬ? නුඹ රජ වාසළ ආරාක්ෂාව ගැන නොවෙද කටයුතු කරන්නේ. මෙවන් දෑ මෙහි සිදු වන්නේ කෙළෙසද? කෙළෙසද? කියව!" නැවතත් අනුලාවගේ කට හඬ ආවේගශීලී විය. නමුත් ඒ සමගම එය බිඳී ගියේය. "සිව, මෙයට නුඹ සම්බන්ධ නැහැ නෙවද?" එහෙත් සිව නිහඬවම සිටියේය. අනුලා දේවිය ඔහු අසළට ආවාය. "නුඹ රජ වාසළ ආරක්ෂකයෙකු මිස රාජ ද්‍රෝහියෙකු නොවේ නෙවද?"

"දේවීන් වහන්ස, ඔබ හට මුසා බස් පැවසීමට මා අකැමැතියි. එම නිසා..." නැවතත් ඔහුගේ කම්මුල හරහා වේගවත් අතුල් පහරක් පතිත විය. හාත්පස මොහොතකට නිහැඬියාවේ ගිලී ගියේය.

"ඇයි මා සොයාගෙන පැමිණියේ?" අවසානයේ එම වදන් ඇගේ මුව'ගින් ගිලිහුනේ දෑස් බොඳ කළ කඳුළු දිලිසෙන අතරදීය.

එතෙක් වේලා රාජ ගෞරවයෙන් පහතට යොමාගෙන සිටි හිස එසවූ සිව එක එල්ලේ ඇගේ දෑස් දෙස බැලුවේය. "තුදුස් වසකට පෙරාතුව ඔබ මාගෙන් උදුරාගෙන ගිය ඒ සොර දෙටුවා - " මුවගින් ගිලිහුනු වදන් ගිලගත් සිව ඉවත බලාගත්තේය. අනතුරුව සිතට දිරි ගෙන නැවතත් කටහඬ අවදි කළේය. "මා තව දුරටත් රජ වාසළ ආරක්ෂකයා නොවේ, රාජ ද්‍රෝහියෙක්... ඒ නිසා මෙතෙක් කල් කියාගැනීමට නොහැකිව සිටි සියල්ල මා අද ඔබ හට පවසන්නම්. අනුලා, බාල වියේ එක්ව කෙළි දෙලෙන් ගෙවූ කාළේ පටන්මයි මා නුඹට පෙම් කළේ. නුඹත් එය දැන සිටියා. එහෙත් අපේ ඒ සුන්දර ජීවිත වලට කණ කොකා හැඬුවේ මේ සොර දෙටුවා අපේ ගමට පැමිණි දා. ගම්මානයම වනසා දමා ඔහු පිටව ගියේ මගේ ජීවිතයද වනසා දමා. එදා පටන් මා නුඹව සෙවූ තරම මා පමණයි දන්නේ අනුලා. චෝරනාග නමින් රජරට රජ වී සිටින්නේ ඔහු බව දැනගත් මොහොතේ මා හට ඇති වූ කෝපය! වසර ගණනාවක් උත්සාහ කොට රජ වාසළ සේවයට වසර කීපයකට පෙර මා බැඳුනේ ඔහුගෙන් පළි ගැනීමට... නුඹව යළි දැක ගැනීමට... එදින මුල් වරට නුඹ මා දුටු මොහොතේ නුඹේ නෙත් මා වෙත නතර වූ බව මා දුටුවා. නුඹ මා නොහඳුනන ලෙසින් සිටින්නට කොතෙක් වෑයම් කළත් නුඹේ නෙත් නුඹව පාවා දුන්නා..."

ඔහුගේ බස් තවත් අසා සිටින්නට නොහැකි වූ අනුලා ශෛලමය අසුන මත හිඳගත්තේ සිහිනයකින් අවදි වූවක මෙනි. "ඇයි මේ තරම් අනුවණකමක් කළේ?" ඇය සෙමින් මිමිණුවාය.

සිව ඈ ඉදිරියේ දණ ගසාගත්තේය. "දේවීන් වහන්ස, මගේ අරමුණ සම්පූර්ණ වූවා. ඔහුගෙන් පළිගැනීමත්, ඔබව දැක ගැනීමත් මිස මා හට ඉන් එහා අරමුණක් තිබුණේ නැහැ. ඔබ අද මෙහි පාලකවරිය. මේ රාජද්‍රෝහියාට ඔබ දෙන ඕනෑම දඬුවමක් බාරගැනීමට මා සූදානම්..." අනුලා අත දිගු කර ඔහුව නතර කළාය.

"මා කියන්න අසා සිටින්න. නුඹ කළේ සමාව දිය නොහැකි වරදක්. චෝරනාගයන් මා රැගෙන යාමට පෙර මා ඔබ හා පෙමින් වෙළී සිටි බව සත්‍යයි. ඔහු හා ඔහුගේ සහචරයින් හා ගත කළ මුල් දින කිහිපය මා ඔවුන් සියල්ලන්ටම සාප කරමින් කෝපයෙනුත්, දුකිනුත් පීඩා විඳිමින් ගත කළ බවද සත්‍යයි. නමුත්, නමුත්... ටිකෙන් ටික මා ඒ ජීවිතයට හුරු වූවා. එම ත්‍රාසජනක ජීවිතයට මා ප්‍රිය කරන්නට පටන් ගත්තා. ඔබ එකළ මා හට දැක්වූ තරමේ ආදරයක් චෝරනාගයන්ගෙන් නොලැබුවත්, ඔහුගේ ඇසුර මට ප්‍රිය වූවා..." සිව නිහඬවම බිම බලා සිටියේය. "සොර දෙටුවෙකු වූ ඔහුගේ පෞරුෂයත්, නායකත්වයත් මා අගය කළා. ආදරය මාගේ ජීවිතයේ හිස් තැනක් වුවත් එය අමතක කර ජීවත් වීමට මා පුරුදු වී සිටියා... නුඹ... නුඹ ඒ සියල්ල විනාශ කර දැම්මා..." අනුලා දේවිය චෝදනාත්මක ස්වරයෙන් කතා කළද එහි කෝපයක් හෝ ආවේගශීලී බවක් හෝ ගැබ්ව නොතිබිණ.

මොහොතක් වේලා දෑස් පියාගෙන එම වදන් තේරුම් ගැනීමට උත්සාහ කළ සිව නැගී සිටියේය. "මා පෙර කී මගේ අරමුණ ඉටුව ඇත. දැන් මා ජීවත්ව සිටියද මිය ගියද වෙනසක් නැත. දේවීන් වහන්ස, ඔබ තුමියගේ අභිමතයක් ඉටුකරන්න." ඔහු හිස නමා ඇයට ආචාර කළේය.


"හ්ම්," අනුලාව මොහොතක් වේලා කල්පනා කළාය. "රජුගේ අවසන් කටයුතු වහා සූදානම් වනු ඇති. මා ඒ පිළිබඳව විමසා බැලීමට දැන් මාළිගය තුළට යා යුතුයි. නුඹගේ දඬුවම පිළිබඳව ඉන් අනතුරුව සලකා බලන්නම්. එතෙක්, නුඹ රජ වාසළේම රැඳී සිටිය යුතුයි." අනුලාව අසුනින් නැගී සිටියාය.

"රාජ පුරුෂයින් ලවා මා දඟ ගෙට නියම නොකරන්නේ මන්ද?"

"මහ රැජිණියගෙන් ප්‍රශ්න විචාරීමට නුඹ කවුරුන්ද?"

වහා හිස පහතට හෙළා ආචාර කළ සිව ඇයට මග ඉඩ දී පසෙකට විය.

මේ සියල්ල සිදු වී සතියක් ගෙවී යන තෙක් සිව අනුලාවට වූ පොරොන්දුව මත රජ වාසලේම රැඳී සිටිමින් සුපුරුදු පරිදි සේවයේ නිරත විය. අවසානයේ ඔහු බලාපොරොත්තුවෙන් සිටි කැඳවීම ලැබුණි. අනුලා දේවිය ලේඛන ශාලාවේ ඔහු එන තෙක් බලා සිටියාය. ඈ ඉදිරියේ සිටගත් ඔහු නිහඬව බිම බලා සිටියේය. ලේඛන ශාලාව තුළ ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් නොවීය.

"සිව, නුඹ දන්නවාද මා නුඹව මෙහි කැඳවූයේ ඇයිද කියා?"

"දනිමි දේවීන් වහන්ස, ඔබතුමිය පනවන ඕනෑම දඬුවමක් මම හිස නමා පිළිගනිමි."

"හ්ම්, එසේනම් හෙට දින පටන් රජ වාසළ ප්‍රධාන ආරක්ෂක ධූරය දැරීමට සූදානම් වන්න."

විසල් කරගත් දෑසින් යුතුව සිව හිස එසවූවේය. අනුලාවගේ තේජවන්ත මුහුණ මත මඳ සිනහවක් ඇඳී ගියේය. "චෝරනාගයන්ට අවසන් ගෞරව දැක්වීමට මෙහි පැමිණි කුඩා තිස්සයන් නුඹට මතකද?" සිව හිස සැලුවේය. "ඔහු මහාචූල තිස්ස රජුන්ගේ දෙටු පුත්. රාජ්‍යයේ මීලඟ සැබෑ උරුමකරු ඔහුයි. ඒ බව ඔහු මා හට සිහිපත් කළා. එනිසා ඔහුගේ බසට අවනත වනවා හැරෙන්නට මට වෙනත් විකල්පයක් නැහැ."

"නමුත් දේවියනි, රජුන්ගේ මරණය සම්බන්ධව - "

"ඒ පිළිබඳව රාජ සභාව කතාබස් කොට අවසානයි." අනුලාව ඔහුට බාධා කරමින් කතා කළාය.

"කුමක්ද එහිදී ගත් තීරණය?"

"රාජ සභාවේ තීරණ දැනගැනීමට නුඹට අයිතියක් නැහැ! නුඹේ උසස්වීම බල පැවැත්වෙන්නේ හෙට සිටයි!"

මොහොතකට නිහඬ වූ සිව නැවත කතා කළේය. "නමුත්, නමුත් මෙම තීරණය මා හට බලපාන බැවින් ඒ ගැන මට පවසන්න රැජිණියනි..." ඔහු ඉල්ලා සිටියේය.

"මොහුගේ බිය නැති කම!" දෑස් සිහින් කර තොල් මැතිරූ අනුලාව දොරටුව දෙස වරක් බලා අසුනින් නැගිට ඔහු වෙත ආවාය. "එම තීරණයේ නුඹට සම්බන්ධයක් නැහැ. මාළිගයේ ආරක්ෂාව පිළිබඳව අස්ථිර තත්ත්වයක් ඇති වූ නිසා හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව තනතුරින් ඉවත් කළා. ඒ වෙනුවට සුදුසු කෙනෙකු ලෙස මා ඔබේ නම ප්‍රකාශ කළා."

"ඇයි එසේ කළේ?" කිසිවක් වටහාගන්නට නොහැකිව සිව ඇසුවේය.

"රජුගේ මරණය පිළිබඳව වැඩි දුර විභාග අනවශ්‍ය බව මා නියෝග කළා."

"නමුත් එවිට සියලු සැකය එල්ල වන්නේ ඔබ මතයි දේවියනි, ඔබයි ඒ මොහොතේ ඔහු අසළ සිටියේ..."

"මා ඒ බව දන්නවා සිව. නමුත් මම මේ රාජ්‍යයේ පාලිකාව. මා හට එරෙහිව නියෝග නිකුත් කරන්නට වෙනත් කෙනෙකු නැහැ." අනුලා මොහොතක් ඔහු දෙස බලා සිටියාය. "මා වෙනුවෙන් තුදුස් වසරක් නුඹ බලා සිටි බව, මා වෙනුවෙන් නුඹ සිදු කර ඇති කැපවීම මා කෙසේද නොසලකා හරින්නේ සිව? එදින මා ඔබ කළ අනුවණ ක්‍රියාව පිළිබඳව දොස් කීවද බාල වියේ ඔබට බැඳි පෙම අඩු වූ බවක් පැවසුවේ නැති බව මතකද?"

සිවගේ හද ගැස්ම වේගවත් විය. ලේඛන ශාලාවේ දොරටුව දෙසත් කවුළු දෙසත් දෙතුන් වරක් හිස හරවා බැලූ ඔහු පියවරක් පෙරට තබා අනුලාවට සමීප වී ඇගේ අතකින් අල්ලාගත්තේය. "අපි ආපහු ගමට යමු අනුලා."

තුදුස් වසක් පුරා කිසිවෙකු වෙතින් නොදුටු ආදරයක් අනුලාව එම දෙනෙත් තුළ දුටුවාය. නව යොවුන් වියේදී බැඳි පෙම් හැඟුම් යළිත් ඈ සිත තුළට ගලා එන්නට විය. නමුත් ඇගේ සිතට වද දුන් කරුණක් ඇගේ අත ඔහුගෙන් මුදාලීය. "එය කළ නොහැකියි සිව." ඇය ඉවතට හැරුණාය.

"ඇයි?"

"හෙට දින කුඩා තිස්සයන්ගේ රාජාභිෂේකය."

"ඉතින් ඔහුට ඔටුනු දරා රාජ්‍යය පාලනය කරන්නට පවරා අපි ගමට යමු."

ඔහුගේ සරල සිතුවිලි පිළිබඳව අනුලා දේවිය සිනහ පහල කළාය. "සිව, ඔබ රාජ ද්‍රෝහියෙකු බව අමතක කරන්නට එපා. නමුත් ඒ බව දන්නේ ඔබත් මාත් පමණයි. ඒ පිළිබඳව විභාගයක් පැවැත්වුවහොත් ඔබ හසු වනවා සහතිකයි. එය වැළැක්වීමට මා මෙහි සිටිය යුතුයි. මා සමීපයේ ඔබ පසු වනු දැකීම මගේ සතුටයි."

"නමුත් කුඩා තිස්සයන් රජ වූ පසු ඔබට ඔහුගේ බිරිඳ වීමට සිදු වනවා."

"ඔහු ගැන බිය වන්නට කරුණක් නැහැ සිව. ඔහුව මගේ අණසක යටතේ තබා ගැනීම එතරම් අසීරු නැහැ. ඔහුගෙන් පසුව ලේ උරුමයෙන් සිහසුනට හිමිකම් කියන්නේ ඔහුගේ බාල සොයුරු කූඨකණ්ණ තිස්සයන්. ඔහු ආගිය අතක්
නැහැ. එබැවින් කුඩා තිස්සයන්ගෙන් පසුව ලේ උරුමයෙන් රාජ්‍යත්වයට උරුමකම් කියන්නෙක් නැතිව යනවා. එවිට මෙහි ඔටුන්න මා භාර කරන්නේ ඔබටයි." අනුලාවගේ දෙනෙතේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් දැල්වී තිබුණි.

***

2011 වසරේදී පොඩි කුමාරිහාමිගේ වළව්වේ පළවූ ලිපියකට කමෙන්ටුවක් වශයෙන් ලියන ලද සටහනකි. වීදිය බණ්ඩාරයන්ගේ කතාව මෙන්ම මෙයද තව දිගට ලියන්නට අදහසක් තිබුණද, මේ වනතුරුත් එය ලියාගන්නට නොහැකි වූ බව කණගාටුවෙන් දැනුම්දෙමි.