91. ඒ අඳුරු සන්ධ්‍යාව හා මගේ පොරොන්දුව...

එය ඉල් මස එක් අඳුරු සන්ධ්‍යාවකි. සුපුරුදු වේලාව මදක් පසු වී මම කාර්යාලයෙන් පිටතට බැස්සෙමි. වටින් ගොඩින් අඳුරු වැටීගෙන එමින් තිබුණද උදෑසන නිවසින් පිට වද්දී ගන්නට ඕනෑමයයි සිතාගෙන ආ ද්‍රව්‍ය කිහිපයක් මිළදී ගැනීම සඳහා මා නුගේගොඩට යා යුතු විය. එවන් දිනෙක කොහුවල බස් නැවතුමේ නතර නොවී පා ගමනින්ම නුගේගොඩ වෙත පැමිණීම මගේ සිරිතයි. සුපුරුදු ගමන් මග ඔස්සේ ඔසු සලද පසු කොට නුගේගොඩ බෝ ගහ වෙත එමින් සිටි මම විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් කුමක් හෝ ලියූ පුවරු කිහිපයක්ද බිම රඳවා ඒ අසළ පොත් සලකුණු අලෙවි කරමින් සිටිනු දුටුවෙමි. ඔවුන්ගේ සගයන් පිරිසක් පාරෙන් අනෙක් පස නෝ ලිමිට් සාප්පුව අසළද සිටිනු දුටු බව මා හට මතකය. ඔවුන්ව පසු කර මා බෝ ගස වෙත ඇවිද ආවේ හයි ලෙවල් පාර හරහා මාරු වීම පිණිසය. මා එතැනට ලඟා වන විටද පදික මාරුව අසළ කොළ පාට සංඥාව වැටී තිබෙනු දුටු මම යුහුසුළුව කහ ඉර මතින් පාර මාරු වී සමරකෝන් ස්ටූඩියෝව අසළින් යළි පදික වේදිකාවට ගොඩ වුනෙමි. කර මත වූ අත් බෑගයද මදක් සකසාගත් මම තැපැල් කන්තෝරුවෙන් පාරෙන් අනෙක් පස වූ වෙළඳ සැල බලා යාමට පය එසවීමි.

ඩෝං!!!!!!

නොදැනීම මගේ දෑත් ඉහළට එසවී දෙකන් වැසුනි. මොහොතක් එතැනම ගල් වූ මා තත්පර දෙකක් හෝ තුනක් එතැනම එලෙසම හිඳින්නට ඇත. මා එතෙක් අසා තිබූ විශාලතම හඬ අපේ ගම් ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා ගිය දිනයේ නැගුණු හඬය. මෙයද එවැන්නක් විය යුතුයැයි එම ගල් ගැසී සිටි තත්පර කිහිපය තුළ මම කල්පනා කළෙමි. එම තත්පර කිහිපය තුළ එම හඬ ගැන සිතුවා හැරෙන්නට මා වටා ලෝකයේ කුමක් සිදු වීදැයි මාගේ දෙනෙතට හසු වූයේ නැත. ට්‍රාන්ස්ෆෝමරයක්. ඔව්. හඬ නැගුණේ පිටුපසින් බව දැනුණද මා එදෙසට හිසවත් හැරවූයේ නැත. මා දෑත් පහළ හෙලා යළි ගමනාරම්භ කරන්නට පය එසවූවා පමණි...

ඩාං!!!!!!!

දකුණු පස ඉහළින් විසි වී ආ පුවරුවක් මාගේ හිසේ වැදී වම් අතද සූරාගෙන බිම ඇද වැටුණි. එය ෆ්ලෝරසන්ට් විදුලි පහනින් ආලෝකවත් වන ලෙස සැකසූ නාම පුවරුවක බිඳී ආ කොටසක් බව මම දුටුවෙමි. හිස අල්ලාගෙන තවත් මොහොතක් මා එලෙසම හිඳින්නට ඇත. මා අසළම සිටගෙන සිටි තැනැත්තෙක් මා වැටේදෝයි සිතා අල්ලාගන්නට මෙන් ඉදිරියට ආවද මා හොඳින් බව අතක් ඔසවා ඔහුට පැවසුවෙමි. මහා හඬෙන් පිරී තිබූ මගේ සිත අවට ලෝකය වෙත යොමු වූයේ ඉන් අනතුරුවය. මම යළි පා එසවීමි.

එය ට්‍රාන්ස්ෆෝමරයක් නොවනා බව මම දැනගතිමි.

නමුත් මා එක් මොහොතකට හෝ පිටුපසට හිස හැරවූයේ නැත. දැකිය හැකි දසුන මා හට දරාගත හැකි වනු ඇතිදැයි මා තුළ විශ්වාසයක් තිබුණේ නැත.

සිහිනෙන් ඇවිදින්නියක පරිද්දෙන් මම ඇවිද ගියෙමි. පල්ලිය, මා යාමට සිතා සිටි වෙළඳ සල ඇතුළු කඩ පේලිය, දුම් රිය පාරද පසු කොට මම ඇවිද ගියෙමි. නමුත් ඒ කිසිවක් මගේ දෑසට හෝ සිතට ඇතුළු වූයේ නැත. මොහොතකට පෙර ඇසුණු මහා හඬින් මගේ මොළය හිරිවැටී ගොස් තිබුණි. එසේ නමුත් ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන අප නිවස අසළටම යන බස් රියේ අංකය ඒ අතුරින් මගේ මනස විනිවිද ගියේය. බොහෝ වේලාවකට පෙර කොහුවල බස් නැවතුම පසු කොට ගොස් තිබූ එය නුගේගොඩ රථ වාහන තදබදයේ නතර වී තිබුණි. එය දුටු මොහොතේ මා හට මව්පියන් දුටුවා වැනි හැඟීමක් ඇති වූයේ ඇයිදැයි නොදනිමි. මම එයට ගොඩ වී හිඳගතිමි. එහි වූ සියල්ලෝම බලා සිටියේ මා පසු කර ආ දෙසය. ගින්නක් ඇති වී තිබූ බව ඔවුන්ගේ කතා බස් වලින් මට වැටහුණි. නමුත් එක් මොහොතකට හෝ මම පසුපස නොබැලුවෙමි. මා අසුන්ගෙන තිබුණේ මා බස් රියේදීම දැනහඳුනාගත් සමීප මිතුරියක අසළින් වුවද, ඈ මා අමතමින් සිටි බව මා හට දැනුණද මා සිටියේ කිසිවක් සිතාගැනීමට හෝ කතා කරගැනීමට හැකි තත්ත්වයක නොවීය. අවසානයේදී බස් රථය ගමන් ඇරඹීය. මම අත් බෑගය තුළින් ජංගම දුරකථනය අතට ගෙන නිවසේ අංකය සටහන් කළේ වෙව්ලන අතැඟිලි වලිනි. පුදුමයකට මෙන් ඇමතුම සම්බන්ධ විය. මවගේ කටහඬ ඇසුණු මොහොතේ එතෙක් මාගේ සිත තුළ සිර වී සිටි කඳුළු පිට පැන්නේය. මා ඈ සමග කතා කළේ ඉකි බිඳිමිනි.

ඒ 2007 වසරේ නොවැම්බර් 28 වනදා ය. එදින උදෑසනද ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍ය වරයාගේ නාරාහේන්පිට කාර්යාලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වාර්තා වී තිබුණි. නුගේගොඩ නෝ ලිමිට් සාප්පුව අසළ බෝම්බය පුපුරා ගියේ එදිනම සවස 5.55 ට පමණය. 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ එම ප්‍රහාරයෙන් දහම් පාසලේ මා හට සිප් සතර ඉගැන්වූ අයියා කෙනෙකුද, මාස කිහිපයකින් ඔහුගේ අත ගන්නට බලා සිටි ඔහුගේ පෙම්වතියද මෙලොව හැර ගොස් තිබුණි.

එම අන්ධකාර සන්ධ්‍යාවෙන් පසු සත් වසරකට අධික කාලයක් ගෙවී ගොස් ඇත. එවැනි තව බොහෝ සිදු වීම් ඒ අතර අසන්නට දැකින්නට ලැබිණ. මා අත් දුටුවේ එම බිහිසුණු ත්‍රස්තවාදයේ අංශු මාත්‍රයක් පමණක් බව මම දනිමි. මෙයට වඩා බොහෝ ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දුන් පිරිස් ගැන එම තිස් වසර පුරා අප අසන්නට දකින්නට ඇත. එම රුදුරු ත්‍රස්තවාදයෙන් බැට කෑ පිරිස අතර සිංහලයන්ද, ද්‍රවිඩයන්ද, මුසල්මානුවන්ද හිඳින්නට ඇත. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයක් වූයේ එය මනුෂ්‍යත්වයට එරෙහි වූ නිසාය. තමන් මෙන්ම ලෙයින් මසින් සැදි මිනිසුන්ව කපා කොටා මරා දමන්නේත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වූ ජලය ලබා දෙන සොරොව් වසා දමන්නේත්, අසරණ නිරායුධ මිනිසුන් පලිහක් ලෙස යොදාගන්නේද මනුෂ්‍යත්වයට එරෙහි වූ ත්‍රස්තවාදීන්ය.

අවසානයේ එම අඳුරු යුගය නිමා විය. ශ්‍රී ලංකාවට නිදහස උදා විය. එයට උර දුන් පිරිස් බොහෝය. දේශපාලනික වශයෙන් එයට නායකත්වය ලබා දුන් උදවියට සේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වල සේවය කළ සියලු දෙනා හටද, ඔවුන්ගේ පවුල් වල උදවිය ඇතුළු හද පත්ලෙන්ම ඔවුන් හට ආශිර්වාදය පිරිනැමූ සෑම කෙනෙකුටම එම නිදහස අපහට ලබා දී සය වසරක් සපිරෙන මෙම මොහොතේදී මාගේ ගෞරව භක්තිය පිරි නමමි.



එසේම, ඔවුන් දිවි හිමියෙන් අපට දිනා දුන් නිදහසේ ගෞරවය සුරකිමි. ත්‍රස්තවාදීන් හට මම රණ විරුවන් යැයි නොකියමි. අපගේ රණ විරුවන් වෙනුවෙන් ගොඩ නැගුණු ස්මාරක ත්‍රස්තවාදය පිටු දැකීමට ඔවුන් සිදු කළ මෙහෙය අනුස්මරණය කිරීමට ගොඩ නැගූ ස්මාරක විනා ද්‍රවිඩ ජාතිකයන්ගේ සිත් රිදවාගැනීම් වලට හේතුවක් ලෙසින් නොදකිමි. ඒකීය ශ්‍රී ලංකාවක් වශයෙන් අප හට, අපේ දරු පරපුර හට, ත්‍රස්තවාදයෙන් නිදහස් කර දුන් මව්බිම, දේශපාලන ඕනෑ එපාකම් හමුවේ බෙදා වෙන් කරන්නට ගන්නා උත්සාහයන්ට එරෙහි වෙමි. සිංහල බෞද්ධ උරුමය සුරැකී ඇති එකම රට වන ශ්‍රී ලංකාවේ එම උරුමය එලෙසින්ම ආරක්ෂා කරගනිමින්, ඒකීය රටක පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වන්නට අපේක්ෂා කරනා සියලු දෙනා සහෝදරත්වයෙන් අගයමි.




90. ආඩම්බර රතු රෝස...


එක ලස්සන උදෑසනක වනාන්තරයක් ඇතුළේ රෝස මලක් පිපුණා. ඒ වනාන්තරයේ හැම ජාතියකම ගහ කොළ, වැල්, පැලෑටි හැදුණා. ඉතිං මේ රෝස මල වට පිට බලද්දි ලඟ තිබුණ පයින් ගහක්, "කොච්චර ලස්සන මලක්ද, අනේ මටත් මේ වගේ වෙන්න පුළුවන්නං," කියලා කිව්වා. ඒක ඇහුණ තවත් ගහක්, "සහෝදරයා, දුක් වෙන්න එපා. හැමෝටම හැම දේම ලබාගන්න බෑනේ," කියලා පයින් ගහට කිව්වා.

මේ කතාබහ ඇහුණ රෝස මල තනියම කල්පනා කරන්න පටන් ගත්තා. "මේ කැලේ ලස්සනම පැලේ මම වෙන්නැති," එයා මිමිණුවා.

ලඟ හිටපු සූර්ය කාන්ත මලට ඒක ඇහුණා. "ඇයි ඔයා එහෙම කියන්නේ?" සූර්ය කාන්ත ඇහුවා, "මේ කැලේ ලස්සන පැල ගොඩාක් තියෙනවා, ඔයා එයින් එක්කෙනෙක් විතරයිනේ."

"හැමෝම මං දිහා බලාගෙන මගේ ලස්සන ගැන කියනවා," රතු රෝස මල ආඩම්බරෙන් කිව්වා. ඊලඟට ලඟ තිබ්බ පතොක් පඳුරක් පෙන්නලා මෙහෙම කිව්වා, "අර බලන්න අර කටු පිරිච්ච පඳුර කොච්චර කැතද කියලා!"

මුලින් රෝස පඳුරේ ලස්සන ගැන කියපු පයින් ගහට ඒක ඇහුණා. "ඇයි එහෙම කතා කරන්නේ රතු රෝස? කාටද ලස්සන කැත ගැන එහෙම කතා කරන්න පුළුවං? ඔයාගෙ ඇඟෙත් කටු තියෙනවනේ." පයින් ගහ කිව්වා.

ආඩම්බරකාර රතු රෝස පඳුර තරහෙන් පයින් ගහ දිහා බැලුවා. "මං හිතුවේ ඔයා ටිකක් හරි ලස්සන මොකද්ද කියලා අඳුරන කෙනෙක් කියලා. ඔයා කොහෙත්ම ඒ ගැන දන්නෙ නෑ! ඔයා කොහොමද මගේ මේ පුංචි කටු අර පතොක් ගහේ කැත කටු වලට සමාන කරන්නේ?"

"මොන තරං ආඩම්බරකාරයෙක්ද," වනාන්තරයේ ගස් එහෙම හිතුවා.

රෝස පඳුර පතොක් පඳුර ගාවින් අහකට යන්න හැදුවත් එයාට හෙලවෙන්නවත් බැරි උනා. රෝස පඳුර හැමදාම පතොක් පඳුර දිහා බල බල හිත රිදෙන දේවල් කිව්වා, "මේ වගේ පැලේකින් මොකද්ද ඇති වැඩේ. අපෝ, මේ වගේ පැලයක් ගාවට වෙලා ඉන්න වෙච්ච එක මොන දුකක්ද."

ඒ කිසි දේකින් දුක් නොවිච්ච පතොක් පඳුර රෝස පඳුරට කරුණු තේරුම් කරන්න උත්සාහ කළා. "මේ ලෝකේ පහළ වෙච්ච කිසිම දෙයක් තේරුමක් නැතිව පහළ වෙලා නෑ, හැම දේකටම තේරුමක්, පරමාර්ථයක් තියෙනවා."

වැහි කාලය ගෙවිලා ගියා. පරිසරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා. වනාන්තරයේ ජීවත් වෙන එක බොහොම අමාරු වුනා. ගහ කොළ වලටත් සතුන්ටත් වතුර ඕනෑ උනත් වැස්සක් ලැබුණේ නෑ. රතු රෝස මලත් ටිකෙන් ටික මැලවෙන්න ගත්තා. දවසක් මේ රතු රෝස මල දැක්කා පුංචි කුරුල්ලෝ ඇවිත් පතොක් පඳුරට හොටෙන් ඇනලා ආපහු බොහොම ප්‍රාණවත්ව ඉගිලිලා යනවා. මේක තේරුම් ගන්න අමාරු වෙච්ච නිසා රෝස පඳුර කුරුල්ලන් ඒ කරන්නේ මොකද්ද කියා පයින් ගහෙන් විමසා සිටියා. ඒගොල්ලෝ පතොක් පඳුරෙන් වතුර ලබාගන්න බව පයින් ගහ හෙළි කළා.

"ඉතිං කුරුල්ලො එහෙම ඇන්නම පතොක් ගහට රිදෙන්නෙ නැද්ද?" රෝස පඳුර ඇහැව්වා.

"රිදෙනවා, ඒත් තමන්ට උදව් කරන්න පුළුවං කම තියෙද්දිත් ඒ පුංචි කුරුල්ලෝ වතුර නැතුව අසරණ වෙනවට පතොක් පඳුර කැමති නෑ," පයින් ගහ ගෞරවයෙන් උත්තර දුන්නා.

රතු රෝස බොහොම පුදුම උනා. "පතොක් පඳුරේ වතුර තියෙනවද?"

"ඔව්, ඔයාටත් ඒ වතුර අරගන්න පුළුවං. ඔයා පතොක් පඳුරෙන් උදව් ඉල්ලුවොත් කුරුල්ලෝ ඔයා ලඟට වතුර අරං එයි."

තමන්ගේ අතීත හැසිරීම ගැන ලැජ්ජාවට පත් වෙච්ච රෝස මල මුලදී පසුතැවිල්ලෙන් නිහඬව හිටියත් අන්තිමේදී පතොක් පඳුරෙන් උදව් ඉල්ලුවා. කරුණාවෙන් ඉල්ලීම පිළිගත්ත පතොක් පඳුර කුරුල්ලන්ට ඒ බව දැන්නුවා. තමන්ගේ හොටෙන් වතුර අරන් ආපු පුංචි කුරුල්ලන් රෝස පඳුරේ මුලට වතුර ඉස්සා. අළුතෙන් ලැබුණ ප්‍රාණයත් එක්ක රෝස පඳුර අළුත් පාඩමකුත් ඉගෙනගත්තා. ආඩම්බරකම් අත් ඇරිය රෝස පඳුර ආයෙ කවදාවත් පෙනුමෙන් විතරක් කිසි කෙනෙක්ව මනින්න ගියේ නෑ.


~ පරිවර්තනය සඳහා උපුටාගත්තේ http://www.4minutesperday.com වෙබ් අඩවියෙන්