මං පවුලේ මද්දුමයා. පවුලේ එකම කොළුවා වෙච්ච අයියටයි, බඩපිස්සි වෙච්ච නංගිටයි හම්බවෙච්ච සැලකිලි වලට වඩා මට සැලකිලි හම්බුනේ අඩුවෙන් කියලයි ඒ දවස් වල මට හිතුණෙම.
ඒ හන්දා තමයි මං අපෙ ආච්චිව යාළු කරගෙන ආච්චිගෙ ෆේවරිට් උනේ. :D
ඒ දවස් වල මට ඔය දැං තරං නුහුගුණයක් තිබ්බෙ නෑ. මේ බ්ලොග් කියවන්න ලියන්න ගත්තයිං පස්සෙ තමා මට ඕක බෝ උනේ. ඇයි ආස්සරේ කොරන්ට හම්බුණේ නුහුගුණේ දෙපිටිං යන එව්වො රොත්තක් නෙව. ඉතිං ඒ ඉස්සර අහිංසක ළමයා විදිහට හිටිය මේ මට ඒ සන්දියෙදි වෙච්ච සංගදි ටිකක් කියාන්ටයි මේ ලෑස්ති වෙන්නේ.
මං පොඩි කාලේ අපේ පාරේ ගෙවල් වල කෙල්ලො ගොඩයි. අපේ ගෙදර දෙකයි, උඩහ ගෙදර අක්කයි, පල්ලෙහා ගෙදර අක්කා නගෝ දෙන්නයි. අපි පස් දෙනා එක්කහු වෙලා සෙල්ලං කරන්නේ ගොඩක් වෙලාවට පල්ලෙහා ගෙදර ඉඳං. එහෙ තිබ්බා ෂෝයි ඔංචිල්ලාවක්. ලී කොටං වලින් කරු ගහලා උඩින් හරස් ලීයක් දාලා ඒකෙ තමයි ඔංචිල්ලාව බැඳලා තිබ්බේ. ආයෙ ගෙයි පිටිපස්සේ තිබුණා බැම්ම නැති ලිඳක්. ඒක අපේ තහනං කලාපේ. හැබැයි ඉතිං ඒ ලිඳ වටකර කොච්චරවාත් කබරගොයා හිටියෙ නැත්තං එහෙම අපි ඔය තහනම ගණං ගන්න එකක් නෑ සමහරවිට. තව එහෙ තිබුණා එළවළු පළතුරු වවපු යායක්. ඒ මැද්දෙන් ගලාගෙන ගිය පොඩි කාණුවේ මාළු පැටව් හිටං හිටියා. ඔය යායටත් අපිට තනියෙං යන්ඩ අවසර නෑ. එහෙ අක්කා නගාලව බලාගන්ඩ හිටපු ආයත් එක්ක තමා අපි ඒ යායෙ ෆීල්ඩ් ට්‍රිප් යන්නේ.
හැබැයි ඔන්න මේ කියන දවසේ අපි සෙල්ලං කර කර හිටියේ ගේ ඇතුළේ. හොඳ ළමයි එහෙමනේ. ඔන්න ඉතිං අපි ෆුල් සීරියස් පිට ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් හරි, ලූඩෝ හරි වෙන මොකක් හරි ජල්බරියක් සෙල්ලං කර කර හිටපු තැනට එකපාරටම කඩාපාත් වෙච්චි... මකරෙක්? නෑ අයියෝ කැරපොත්තෙක්. අපි පස් දෙනා හූ තියාගෙන ඇඳවල් උඩයි පුටු උඩයි. අපේ උඩහා ගෙදර අක්කා ටිකක් ඉංගිරීසි පන්නෙ. එයා එකපාරටම හූව නවත්තලා කෑ ගහපි මොකද්දෝ මගේ ඒ දවස් වල වොකැබියුලරියෙ නොතිබිච්ච වචනයක් කිය කිය. පහළ ගෙදර අක්කත් ඔන්න ඒකම කිය කිය උඩ පනින්න ගත්තා. මගේ ටිකිරි මොළේට තේරුණා මේ මොක හරි කැරපොත්තට කියන ඉංගිරිස් නම වෙන්ඩ ඕනෙ කියලා. මාත් ඒ සද්දෙට කියවෙන මගේ වොකැබියුලරියෙ තිබ්බ ඉංගිරිසි වචනෙ කිය කිය ඇඳේ ස්ප්‍රිං මෙට්ටෙ උඩ ඉඳං උඩ පනින්න ගත්තෙ නැතෑ.
"කොකඩයිල්!!! කොකඩයිල්!!!"
"නෑ නෑ ඔය කොක්‍රෝච්!" උඩහ ගෙදර අක්කා කියපි.
මං නෙවෙයි දෙවෙනි වෙන්නෙ. "නෑ නෑ කොකඩයිල්!!!"
කොහොමද මගෙ වැඩ! කැරපොත්තාව කිඹුලෙක් කරලයි නැවතුණේ!!!
ඔයගොල්ලන්ට ඇත්තම කියන්න මෙහෙම දෙයක් උනා කියලා මගෙ මතකයේ තිබ්බෙ නෑ. මොන්ටිසෝරි යන වයසෙ මම හිතන්නෙ මං එතකොට. සෑහෙන කාලෙකට පස්සෙ කැරපොත්තාට කියන හරි ඉංග්‍රීසි නම දැනගත්ත කාලෙක අපෙ අම්මා තමයි කිව්වේ මං මෙහෙමත් කරලා තියෙනවනෙ කියලා.
පල්ලෙහා ගෙදර විත්ති කියලා අපේ ගෙදර එව්වා නොකියා බැහැනේ. අපේ ගෙදර තිබ්බා ගස් මහ ගොඩක්. ඒත් දැන්නං ඒ එකක්වත් නෑ. එක එක හේතු හන්දා කපලා දාලා. දැන් අපේ වත්තේ එකම එක පොල් ගහක් ඇරුණහම වෙන එක ලොකු ගහක්වත් නෑ. අපේ වත්තේ ගස් කැපිල්ලේ මගේ මුල්ම මතකය කොස් ගහ. ගොඩක් දුකෙන් හිටියෙ මම එදා. ලී පතුරක් විසි වෙලා ඇවිත් කකුලේ වැදිලා තුවාල වෙනකල්ම මාව එතනින් අයින් කරගන්න බැරි උනා. මම සිත්තරාගෙ ගෙදර ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ එහෙ තිබ්බ කොස් ගස් දෙකත් කපන්න උනා. එදා ඒ කොටන් ඉරලා ගෙනාපු ලී දිහා බලාගෙන මම අඬපු තරමක්. ගස් කපන එක මම අකමැතිම දෙයක්. පාරෙ ලොරි වල පටවගෙන කපපු මහ ගස් කොටන් අරගෙන යනවා දකින කොට මාව පිච්චිලා යනවා. ඉතින් අර කොස් ගහෙන් පටන්ගත්ත අපේ වත්තේ ගස් කැපිල්ලෙන් ඇඹරැල්ලා ගහ, රඹුටන් ගහ, අඹ ගස් දෙක, පොල් ගස් දෙකක්, තැඹිලි ගහ... ඔය ඔක්කොම අපිව දාලා ගියා... එක එක හේතු හින්දා... සාධාරණ හේතු... එහෙම බරපතල හේතු නොතිබුණානං මං දන්නවා තාත්තා ඒ ගස් වලට එහෙම කරන්නෙ නෑ කියලා. ඒත් ඒ හැම ගහක් එක්කම අපේ පුංචි කාලේ මතක රැඳිලා තිබ්බා.
ගෙදර ඉස්සරහා අඹ ගහේ අපිටත් ඔංචිල්ලාවක් බැඳලා දීලා තිබ්බා තාත්තා. පල්ලෙහා ගෙදර එකට වඩා උස එකක්. ඒකෙන් ගොඩාක් උඩ යන්න පුළුවන්. ඒත් ඒක ගලවලා දාන්න උනා මං ඒකෙන් වැටිලා පිට බිම ඇනිලා දවසක්ම කතා කරගන්න බැරුව හිටිය හන්දා. ඒ අඹ ගහයි ගේට්ටුව ලඟ පොල් ගහයි අල්ලලා තාත්තා අපිට වඳුරු පාලමක් බැඳලා දීලා තිබ්බා. ඒකට ඒ නම කිව්වේ මොකද මන්දා. කඹ වලින් බැඳපු පාලමක්. අඩිය තියන්න පහළින් එක කඹයයි, අත් වාරුවට දෙපැත්තෙන් කඹ දෙකයි. පහළ කඹයයි දෙපැත්තෙ කඹ දෙකයි අල්ලලා වැට වාගෙ හිටින්න කඹ වලින්ම සිග් සැග් හැඩේට බැඳපු වියමනයි. අපෙ අයියා ඉස්සර ඕකෙමයි පදිංචිය. මට ඒ තරං දුර තනියම යාගන්න බෑ. ඒ උනාට ඒකෙ නැගලා ගත්තු ෆොටෝනම් තියෙනවා චණ්ඩියා වගේ.
වඳුරු පාලමේ යන්න බැරි උනාට මට ගස් නගින්ටනං පුළුවං. ඒකත් හැබැයි අයියා තරං නැගගන්න බැරි එකට මට මං ගැනම තරහයි. අඹ ගහේ දෙබල තමයි ඉස්සර මගේ වාස භවන. රස කෑම කන්නෙත්, පොත් කියවන්නෙත් ඔතන ඉඳං. මට උඩකටම නගින්න හිතුණහම මං යන්නේ බිලිං ගහට. ගැට ගැට පිරිච්ච කඳ දිගේ උඩටම නගිත හැකි. ඔය මොන මොන අපූරු තැන් වත්ත පුරාම තිබ්බත් මං මොකක් හරි මගෝඩි වැඩක් කරලා තාත්තා වේවැල අරං එන්න යද්දි මං දුවන්නෙ එකම තැනකට.
මගේ ඇඳ යටට!
හැබැයි ඉතිං එක සැරයක් දෙසැරයක් ඕක යට හැංගුණාට පස්සේ තාත්තා ආයෙ වෙන කොහෙවත් හොයන් නෑ කෙළින්ම ඇවිල්ලා ඇඳ යටට එබිලා මාව ඇදලා ගන්නවා. වැඩේ හරි යන් නෑ. වෙන හැංගෙන්නයි කියලා හොඳ හිතට අල්ලන තැනකුත් නෑ. ඇඳ යට පේන් නැති වෙන්න ඇතුළටම රිංගන්නත් බෑ. මකුළුවො හිටියොත් එහෙම. නැහ්, මං බය හන්දා එහෙම නෙවෙයි. උන් මට බයයි, ඔව්. බැරි වෙලාවත් අඬු විහිදගෙන රජ්ජුරුවො වගේ ඉඳලා මාව දැකලා ගෙවල් දොරවල් අත ඇරලා දාලා දිව්වොත් එහෙම පව්නේ. ඉතිං අන්තිමේදී දවසක්දා මං අළුත් වැඩක් හොයාගත්තා. ඇඳ යට හැංගිලා අත් කකුල් හතරෙන් ඇඳ පොලු වල එල්ලිලා හිටියා. ස්පයිඩර් මෑන් - අහ්, වැරදුණා ස්පයිඩර් ගර්ල් වගේ. එතකොට තාත්තා ඇවිත් එබිච්ච ගමන් මාව පේන් නෑ. දෙසැරයක්ම ඇවිල්ලා එදා ඇඳ ලඟ බලලා ගියා මාව හොයාගන්න බැරුව. අන්තිමට මටම ඇති වෙලා ඇඳ පොලු අත ඇරලා බිමට බැහැලා අඬ අඬ හිටියා. හැබැයි එදා මං වේවැල් පාරෙන් නං බේරුණා. :D
ආයෙ දවසක ඔන්න අපි සේරෝම කැලණි පන්සල් ගියා. මං මුළින්ම එහෙ ගියෙ එදා. අර මල් දෝවනය කරන්න තිබ්බ වතුර මල තමයි මං ජීවිතේට දැක්ක පළවෙනි වතුර මල.
මට මැජික් වගේ. නිකං අත හෝදලා, මල් වලට පැන් ඉහගෙන එතනින් හැරිලා එන්න මට ලෝබයි. මට ඒකෙන් නාන්ඩම හිතුණා ඇත්තටම ඔන්න. ඒත් ඉත්ං එහෙම බැරි බව තේරෙන වයසක මං එතකොට හිටියේ. හැබැයි ඉතිං මට නිකන්ම ටැප් එකෙන් අත හෝදන් යනවා වගේ ඒ වතුර මලනම් දාලා යන්ඩ හිතුණෙම නෑ. අඩුම ගානේ අර මුදුණෙන්ම එන වතුර ටිකට අතවත් අල්ලන්ඩ ඇත්තං කියලා මට හිතුණා. අම්මටවත් තාත්තටවත් මාව නවත්තගන්ඩ ලැබෙන්න කළින් මං වතුර මැද්දට පැනලා නැග්ගා වතුර මලේ පහළ තට්ටුවට. නැගලා මුදුණෙන්ම එන වතුරට අත ඇල්ලුවා. මං ඒ මොහොතෙ විඳපු සතුට අයිස් ක්‍රීම් දහයක් කෑවත් ලැබෙන්නෙ නෑ. මං පිනා ගිය චිත්තප්‍රීතියෙන් යුතුව ආපහු බහින්න හැරුණා.
ජබෝහ්!!!
වතුර මලේ මං නැගලා හිටිය තට්ටුවට මාව ඇදගෙන වැටුනා. ඉතිං ඔන්න ඔහොම මගේ පළවෙනි කැලණි වන්දනාව බැතිබර තෙමිච්ච කුකුල් පැටියෙක් වගේ සිදු කළා. සාදූ! සාදූ!! සාදූ!!!





/ ඒ දවස් වල මට ඔය දැං තරං නුහුගුණයක් තිබ්බෙ නෑ. මේ බ්ලොග් කියවන්න ලියන්න ගත්තයිං පස්සෙ තමා මට ඕක බෝ උනේ. ඇයි ආස්සරේ කොරන්ට හම්බුණේ නුහුගුණේ දෙපිටිං යන එව්වො රොත්තක් නෙව /
ReplyDeleteදෙයිහාමුදුරුවං පල්ල ඇත්තම ඇත්ත නඟේ...මම මේ හතර පෝයට සිල් අරගෙන අරලිය මල් දෙකක් කණේ ගහගෙන හිටපු එකා වෙච්චි.ගෙදර ඉන්නවනං පැය බාගෙන් බාගෙට අම්ම අප්පච්චිට දණ්ඩ නමස්කාරයෙන් වඳින එකා වෙච්චි.
එහූ ධාර්මික ජීවිතයක් ගත කරපු මගෙ ඔලුව නරක් කලේ වෙන කවුරුවත් නෙවෙයි මේ බොලොග් කෙරුවාවට ඇවිල්ල මුලිච්චි වෙච්චි විසුරුමාන අංගනාවියො රොත්ත. අර මල්දමක් කියල එකක් අටව ගත්ත. ඒකෙ ඉන්න තරමක් ඉන්නෙ සනීප කරන්ට බෑ කියල අංගොඩිනුත් දොට්ට දාපු එවුං නෙව. අමා, පොඩ්ඩි, ජානිස්, රන්දිල්...හප්පච්චියෙ නම් මතක් වෙනකොටත් ඔලුව තෝංතු වෙනව
ඉතිං නිකමට හිතාපං..ඔවුං එක්ක ඉහ ගහල මම මේ ඉන්න ඉඳිල්ලම මදිද ඈ? සිරී ලංකා බූසන සම්මානෙ දෙන්ට වටිනව මේ මට ..අනෙ අම්මප..
/*මම මේ හතර පෝයට සිල් අරගෙන අරලිය මල් දෙකක් කණේ ගහගෙන හිටපු එකා වෙච්චි.*/
Deleteහා, මං දැනගත්තා. ඔය අරලිය මල් කනේ ගහන්ඩ කලිං හෝදලා පිඹලා අරගත්තෙ නෑ නේද? ඒ මල් වල හිටපු කංකුණ්ඩො කණ අස්සෙන් මොළේට ගිහිං තමයි ඔය ඔහොම වෙලා තියෙන්නේ. :P
/*අර මල්දමක් කියල එකක් අටව ගත්ත. ඒකෙ ඉන්න තරමක් ඉන්නෙ සනීප කරන්ට බෑ කියල අංගොඩිනුත් දොට්ට දාපු එවුං නෙව. අමා, පොඩ්ඩි, ජානිස්, රන්දිල්...හප්පච්චියෙ නම් මතක් වෙනකොටත් ඔලුව තෝංතු වෙනව*/
මේ, මෙතන එක නමක් අඩුයි නේද? කවුද හැබෑටම... ම්හු, මතක් කළාට මතක් වෙන්නෙත් නෑ. පවු හැබැයි, අයියා ඒ ළමයාව මෙහෙම අමතක කරලා කියලා දැනගත්තොත්නං හොඳටෝම දුක හිතෙයි.
පිස්සුද අනේ අමතක උනා නෙවෙයි..උදේට ඉර පායනව, හවහට බහිනව, ඉර බැස්සම කලුවර වෙනව, ඔව්ව වෙනම කියන්ටත් දේවල්ය. උඹ ඔය කියන අංගනාවිට මොලේ කොලොප්පංය කියල ආය වෙනම කියන්ටත් ඕනය? බස් හෝල්ට් එකේ ඉන්න ගමං ඉස්සරහ පාරෙ තියෙන මෑන් හෝල් එක උඩිං වාහන යනකොට ඇහෙන සද්දෙ මොනවගේද කියල තමං එක්කම ඔට්ටු අල්ලනවයි කියන්නෙ එසේ මෙසේ පිස්සුවක් එහෙම නෙවෙයි කියල ආය කියන්ටත් ඕනද?
Deleteයාන්තං පහුගිය ටිකේ නිවී හැනහිල්ලෙ හිටිය...මදැයි ...ආයම ඔන්න....
/* ... කියන්නෙ එසේ මෙසේ පිස්සුවක් එහෙම නෙවෙයි කියල ආය කියන්ටත් ඕනද? */
Deleteහැබෑට? :P
/* යාන්තං පහුගිය ටිකේ නිවී හැනහිල්ලෙ හිටිය...මදැයි ...ආයම ඔන්න.... */
ආ ඇයි දැං මොකෝ වෙලා තියෙන්නෙ? :D
ඒ දවස්වල 'මං' ඔහොමනම්, සිත්තර පැංචා ලොකු උණාම් මොනා කරයිද මන්දා...:D
ReplyDeleteසිත්තර පැංචා ලොකු උනාම සිත්තරා වගේ වෙනවලු. එයා මේ 'මං'ට හපන්නේ. :D
Deleteඔයාගේ තියෙන නරක ලක්ෂණයක් තමයි අපේ කමෙන්ට් ගනන් නොගෙන ඔහේ තියෙන්න ඇරලා පස්සේ වෙන පෝස්ට් එකකුත් දාන එක. අපිත් දෙනවා රිටර්න් එක හරිද? :)
ReplyDeleteහපොයි එහෙම වෙන්නේ ගණන් නොගන්න හන්දා නෙවෙයි අයියේ. තරහා ගන්ට ඔට්ටු නෑ ඔන්න. මෙච්චර කල්ම මම අළුත් පෝස්ට් එක දාන්න කළින් පරණ කමෙන්ට් වලට උත්තර දුන්නා නොවැරදීම. මේ වතාවෙ තමයි ඒක බැරි උනේ. ඒත් මම කවදාහරි කොහොමහරි උත්තර දෙනවා අනේ. ඒත් ඒක උණු උණුවෙම උත්තර දෙනවා තරං කමෙන්ට් කරපු කෙනාට දැනෙන් නැතුව ඇති. ඒ හින්දා සමාවෙන්න ඕනේ. :(
Delete'සාදූ සාදූ සාදූ' කියලා අපිට කොමෙන්ට් කරන්න තිබ්බ එකත් එයාම ලියාගෙන....
ReplyDeleteඑතකොට මේක කියවලා කියන්න තියෙන්නේ 'සාදු සාදු සාදු' කියලා විතරමයි ඈ? :P
Delete