උදේ කෑම වේලෙන් පස්සේ ආපහු සාමය උදා උනා. විලියම්ගේ තාත්තා රොබර්ට් අයියා එක්ක ඇවිදින්න ගියා. නැන්දලා තුන් දෙනා මැද සාලයේ ගිනි මැලය වටේට ඉඳගෙන මැහුම් ගෙතුම් පටන්ගත්තා. ඒ තමයි නැන්දලාට තියෙන ලොකුම රාජකාරිය - මැහුම් ගෙතුම්. හැම නැන්දා කෙනෙක්ම නොවැරදීම මැහුම් ගෙතුම් කරනවා.
පල්ලියේ දේව මෙහෙය තියෙන වෙලාව ගැන ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් හොයලා බැලුවා.
"කරදර වෙන්න එපා," විලියම්ගේ අම්මා කිව්වා. "දේව මෙහෙය තියෙන්නේ දහයාමාරට. පුස්තකාල කාමරේ ඔරලෝසුවෙ දහය වදින කොට ලෑස්ති උනානම් හොඳටම ඇති."
සාමය... සන්සුන් බව... නිහඬතාවය. විලියම්ගේ අම්මයි අක්කයි කුස්සියේ ඉඳගෙන එදා දවසේ සංග්‍රහ වලට සූදානම් වෙනවා. මැද සාලයේ ඉඳගෙන නැන්දලා මැහුම් ගෙතුම් කරන අතරේ එයාලගෙ සහෝදරියෝ ළමයි හදලා තියෙන වැරදි විදිහ ගැන කතා වෙනවා. අන්න, නැන්දලාගේ තවත් රාජකාරියක්.
කාලය සතුටින් සමාදානයෙන් ගතවෙලා ගියා. විලියම්ගේ අම්මා මැද සාලයට ඇවිත් එබිලා බැලුවා.
"මං හිතුවේ ඔයගොල්ලෝ පල්ලියට ගිහින් ඇති කියලා," අම්මා කිව්වා.
"තාම දහය වැදුනේ නෑනේ."
"ඒත් -- දැන් වෙලාව එකොළහයිනේ!"
ඊලඟට ඇහුණේ තැතිගැන්මෙන් හුස්ම හිර වෙන හඬක්.
"ඒත් ඔරලෝසුවෙන් සද්දයක් ආවෙම නෑ!"
තරහෙන් පිපිරි පිපිරී ඒ හැමෝම පුස්තකාල කාමරේට ගියා. සාමයයි නිහඬතාවයයි ඒ කාමරේත් පිරිලා තිබුණා. බිම වාඩි වෙලා 'කොල්ලන්ගේ වැඩ' පොත දිහා ඔරවගෙන බලාගෙන හිටියේ විලියමුයි ජිමීයි. ඒ දෙන්නා වටේට බිම පුරා බොහොම අශෝභන විදිහට විසිරිලා තිබ්බේ ඔරලෝසුවේ සුන්බුන්.
"විලියම්! මොකද ඔය කරන්නෙ???"
විලියම් උල් වෙච්ච මූණ උස්සලා බැලුවා.
"මේකෙ කෑලි තියෙන විදිහ හරි නෑ," එයා කිව්වා, "ඒක මෙච්චර කල් තිබිලා තියෙන්නෙ වැරදියට. අපි මේ ඒක හදනවා. ගොඩ කාලෙකින් ඒක හදන්න අතවත් තියලා නැද්ද කොහෙද. මං දන් නෑ මේක මේ වෙනකල් කොහොම වැඩ කළාද කියලා. හොඳ වෙලාවට අපිට මේක හම්බුනේ. ඒකෙ කෑලි තියෙන විදිහ වැරදියි. මං හිතන්නෙ ඒක හදලා තියෙන්නෙම වැරදියට. මේක හරියට හදන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඉතිං ඔයගොල්ලෝ ඔහොම කළුවර කරගෙන හිටගෙන ඉන්න කොට අපි කොහොමද මේක හදන්නේ?"
"ඒකනෙ," ජිමීත් එකඟ උනා. "ඔරලෝසුවක් හදන එක කොච්චර ලොකු වැඩක්ද!"
"විලියම්!" අම්මා ගෝරනාඩු කළා, "පේනවද ඔය ඔරලෝසුව විනාස කරලනේ. තාත්තා දැනගත්තොතින් එහෙම?"
"බලන්න, මේ දැති රෝද වැරදියි," විලියම් පරදින්න ලෑස්ති නෑ. "පේනවද? ඊලඟට මෙන්න මේ දැති රෝදෙ අඩය උඩ හරියට හිටින්නෙ නෑ -- මේ පොතේ තියෙන විදිහට ඒක තියන්න බෑ. මේක හරියට හදන්න තවත් කෑලි ගලවලා බලන්න වෙයි. මටනං පේන්නේ මේ ඔරලෝසුව හදලා තියෙන්නෙ ඔරලෝසු ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්. මට පේන්නේ---"
"කට වහගන්නවා විලියම්!"
"ඔයගොල්ලෝ එන්න කලින් අපි කට වහගෙන තමයි හිටියේ," ජිමී වහාම කිව්වා. "ඔයගොල්ලොනේ ඇවිල්ලා අපිට කරදර කළේ."
"ඕක ඔය තියෙන විදිහටම තියලා යන්නයි කිව්වෙ මෙතනින්," අම්මා සැර උනා.
"මේ කාටවත් තේරෙන් නෑනේ," විලියම් කතා කරන්න පටන්ගත්තේ තමන්ගේ රාජකාරිය ගැන ලොකු භක්තියකින්. "මේ දැති රෝද දෙක මේ කෑල්ල උඩ තියෙන්න ඕනෙ මේ විදිහට නෙමෙයි. පේනවනේ? මේ තියෙන විදිහ වැරදියි. අපි ඒක හද හද හිටියේ. අපි ඒක හද හද හිටියේ ඔයගොල්ලන්ටමයි," එයා කතාව ඉවර කළේ මූණ බෙරි කරගෙන. "අපි හැදුවෙ උදව් කරන්නයි. අනිත් අයව සතුටු කරන්නයි. ඔරලෝසු හරියට වැඩ කරන කොට ඕන කෙනෙක් සතුටු වෙනවා කියලනේ ඕන කෙනෙකුට හිතෙන්නේ. ඒත් ඉතිං ඔයගොල්ලන්ට ඕනෙ ඔරලෝසු වැරදියට වැඩ කරන්නනං ඉතිං මට කමක් නෑ."
'කොල්ලන්ගේ වැඩ' පොත අහුලගත්ත විලියම් ආඩම්බරෙන් එතනින් පිට වෙලා ගියේ ඒ තරම්ම ආඩම්බරයකින් එයාව අනුගමනය කරපු ජිමීත් එක්ක.
"විලියම්," ලුසී නැන්දා එයා ලඟින් යන්න ගිය විලියම්ට කතා කළේ බොහොම ඉවසිලිවන්තව. "මං නපුරු දෙයක් කියන්න කැමති නෑ. ඒත් මං හිතන්නෙ මේ නත්තල ඔයා නිසා මගේ ජීවිතේ නරකම නත්තල උනා කියන එක ඔයා හැමදාම මතක තියාගෙන ඉන්න එකක් නෑ කියලා."
"මදැයි!" ජේන් නැන්දා දුකෙන් මිමිණුවා.
විලියම් ලුසී නැන්දා දිහා බැලුවේ නැන්දාට පොළව පලාගෙන අතුරුදහන් වෙන්න හිතෙන තරමේ බැල්මකින්.
දවල් කෑම වෙලාවේදී වැඩිහිටියෝ ඒගොල්ලන්ගේ සුපුරුදු මෝඩ විලාසිතාව අනුගමනය කරමින් කාලගුණයයි දේශපාලනෙයි ගැන කතා කර කර නිශ්ඵල විදිහට කාලය ගෙවා දැම්මා. ඒ අතරෙදී ලුසී නැන්දා ඒ වෙන කොටත් අඩු වෙලා නොතිබ්බ එයාගේ දුකයි සන්තාපයයි පළ කරන්න අමතක කළේ නෑ.
"මට හවස දේව මෙහෙයට උනත් යන්න බැරි කමක් නෑ," එයා කිව්වා. "ඒත් ඒක උදේ එක වගේ නෙමෙයි. උදේ දේව මෙහෙය වෙනස්. අන්න ඔව් වස්තුවේ තව ටිකක් දාන්න -- අර වෑංජනෙනුත් ටිකක් බෙදන්න. තව කළුකුම් ටිකක් තිබ්බත් කමක් නෑ. අනික හවස දේව මෙහෙයෙදි පූජකතුමා දේශනා කරන්නෙත් නෑ. ඒක කොයි තරම් ලොකු අඩුවක්ද. අල උඩට හොදි ටිකක් දාන්න හොඳ ළමයා වාගෙ. මට උදේ දේව මෙහෙයට යන්න බැරි වෙච්ච පළවෙනි වතාව තමයි මේ. ඒකෙන් මගෙ මුළු දවසම කාලකණ්ණි උනා."
නැන්දා දොස් නගන බැල්මකින් විලියම් දිහා බැලුවා. සාමාන්‍යයෙන් ඕනම විදිහේ බැල්මකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කමක් තිබ්බත් විලියම් මේ වෙලාවේ ඊට වඩා බොහොම වැදගත් වැඩකට මුල් තැන දීලා තිබ්බේ. එයා අතිශයින්ම කාර්ය බහුල වෙලා හිටියේ. අවුරුද්දකට වතාවක් විතරක් ලැබෙන කෑම වේලට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න එයා හිතිනුයි කටිනුයි දෙකෙන්ම ඇප කැප වෙලා හිටියේ.
"විලියම් අයියේ," බාබරා බොහොම හිත මිතුරු හඬකින් කතා කළා. "මට පුළුවන් හීන බලන්න. ඔයාටත් පුළුවන්ද?"
විලියම්ගෙන් උත්තරයක් ලැබුණේ නෑ.
"නංගිට උත්තර දෙන්න විලියම්," අම්මා කිව්වා.
කටේ පුරෝගෙන හිටපු කෑම ටික ගිලලා විලියම් විලාප හඬක් නැගුවා, "අම්මමනේ මට හැම තිස්සෙම කියන්නේ කටේ කෑම තියාගෙන කතා කරන්න එපා කියලා," එයා කිව්වා.
"ඉතින් ඒ කට කාලා ඉවර වෙලා කතා කරන්න පුළුවන්නේ."
"බෑ. ඒ කට ඉවර වෙච්ච ගමන් මට ඊලඟ කට කන්න ඕනේ," විලියම් ස්ථිරසාර හඬින් උත්තර දුන්නා.
"මදැයි!" ජේන් නැන්දා කිව්වා.
ඕනම කතාබහකට ජේන් නැන්දා සාමාන්‍යයෙන් සහභාගි වෙන්නේ ඒ වචනෙන්.
තමන් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටපු නැන්දලා තුන් දෙනා දිහා උදාසීන බැල්මක් හෙලපු විලියම් ආපහු නිවීහැනහිල්ලේ තමන්ගේ කෑම පිඟානට නැවුනා.
විලියම්ගේ අම්මා ඉක්මණින්ම කතාව වෙන පැත්තකට මාරු කළා. අම්මා කෙනෙකුගේ වගකීම් එක්ක ආගන්තුක සත්කාර වල යෙදෙන එක සමහර වෙලාවට ඇත්තටම බොහොම අමාරු වැඩක්.
නත්තල් දා හැන්දෑව කියන්නේ විවේකයෙන් ගත වෙන වෙලාවක්. නැන්දලා තුන් දෙනා තමන්ගේ වැඩක් බලාගන්න වෙලාවක්. ලුසී නැන්දා පුස්තකාලයෙන් දේශනා පොතක් අරගෙන කාමරයට යන්න ගියත් අතර මගදී විලියම්ව දැකලා නතර උනා. "මේකවත් ඉතිං කියවනවා, වෙන මොනවා කරන්නද." නැන්දා විලියම්ට කිව්වා.
මේ වෙද්දී විලියම්ට ලුසී නැන්දාව පේන්න බැරි තත්ත්වයට පත් වෙන්න බොහොම ආසන්න වෙලා හිටියේ.
"නෝනා," පැයකට විතර පස්සේ කෝකියා ඇවිල්ලා විලියම්ගේ අම්මට කතා කළා. "බ්ලෙන්ඩරේ අතුරුදහන් වෙලා."
"අතුරුදහන් වෙලා?" අම්මා ඔළුවේ අතක් තියාගෙන ඇහැව්වා.
"සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා නෝනා. දැං කොහොමද මං රෑ කෑම හදන්නේ?"
"ඉන්න මං ඇවිත් බලන්නං."
අම්මයි කෝකියයි කුස්සියේ හැම අස්සක් මුල්ලක් නෑරම බ්ලෙන්ඩරේ හෙව්වා. ඒත් හම්බ උනේ නැති තැන විලියම්ගේ අම්මාට යමක් මතක් උනා. විලියම්ගේ අම්මා ඒ තනතුර දරපු අවුරුදු එකොළහටම හුඟක් දේවල් ඉගෙනගෙන තිබුණේ. අම්මා කෙළින්ම ගියේ විලියම්ගේ කාමරේට.
විලියම් හිටියේ බිම ඉඳගෙන. එයා ලඟ තිබුණේ 'කොල්ලන්ගේ වැඩ' පොත. ඒ වටේට වපුරලා තිබුණේ බ්ලෙන්ඩරේ කෑලි. කල්පනාකාරී බවෙනුත්, මහන්සියෙනුත් විලියම්ගේ මූණ ඇදිලා ගිහින්. අම්මා කාමරේට ඇතුල් වෙද්දී විලියම් ඔළුව උස්සලා බැලුවා.
"මේක මහ පුදුම බ්ලෙන්ඩරයක්නෙ," එයා කිව්වා. "මේකෙ කෑලි අඩුයි. මේක හදලා තියෙනවා වැරදියි---"
"දන්නවද," අම්මා ඉවසිල්ලෙන් කතා කළා, "දැං පැය බාගයක් තිස්සේ අපි මේක හොයනවා කියලා?"
"නෑනේ," විලියම් වැඩි උනන්දුවක් නැතිව උත්තර දුන්නා, "අපරාදේ, ඒ බව මට කිව්වනං මං කියනවනේ මං මේක හදනවා කියලා. මේක තියෙන හැටි වැරදියි," විලියම් දුකෙන් කියාගෙන ගියා. "මේකෙන් මුකුත් මට හදාගන්න බෑනේ. මේ බලන්න! මේ පොතේ තියෙනවා බ්ලෙන්ඩරේක කෑලි වලින් කෝච්චි සිග්නල් එකක් හදන හැටි. ඔන්න අහගන්න, ඒකෙ තියෙනවා 'ඔයාගෙ අම්මගෙන් බ්ලෙන්ඩරයක් ඉල්ල ගන්න---"
"ඔයා ඉතිං ඕක ඉල්ලලාද ගත්තෙ?" අම්මා ඇහැව්වා.
"ම්, කොහොමහරි මං අරගත්තනේ. ඒක මං කුස්සියටම ගිහිල්ලයි අරගත්තේ."
"කවුද ඔයාට ඒක දුන්නෙ?"
"කවුරුවත් මට දුන්නෙ නෑ. මං ගත්තා. මං හිතුවේ අම්මා කෝච්චි සිග්නල් එකක් දකින්න ආස වෙයි කියලා. ඕනෙම කෙනෙකුට හිතෙන්නේ ඕනෙම කෙනෙක් බ්ලෙන්ඩරේක කෑලි වලින් හදපු කෝච්චි සිග්නල් එකක් දකින්න කැමති වෙයි කියලනේ."
එයාගෙ කටහඬේ තිබුණේ මේ තරම් අපූරු දෙයක් ගැන උනන්දුවක් දක්වන්නේ නැති අයව තේරුම් ගන්න බැරි බවක්. "කොහොමත් අම්මා ලග තිබ්බ මේ බ්ලෙන්ඩරේ වැරදි එකක්. ඒකෙ කෑලි වැරදියි. මං මේ ඒවා මිටියෙන් තලලත් බැලුවා හරි හැඩේට එයිද බලන්න. ඒත් හරි ගියෙ නෑ. ඒවා හදලා තියෙන විදිහ වැරදියි."
විලියම්ගේ අම්මා හිටියේ විලියම්ට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි. "ඔය කෑලි ඔක්කෝම ටික අරගෙන ගිහිල්ල කුස්සියෙන් තියනවා!"
පඩිපෙළ ලඟදී විලියම්ට හම්බ උනේ දේශනා පොතත් අතින් අරන් යන ලුසී නැන්දාව.
"පොතේ තියෙන දේවල් කතා කරන වචන තරම් වටින්නෙ නෑ දරුවෝ," නැන්දා කිව්වා. "ලියපු වචන වල ඒ බලය නෑ. ඒවා ඇහෙන වචන තරම් හදවතට දැනෙන්නේ නෑ. ඒත් ඉතිං ඔයා දැං ඒ ගැන දුක් වෙන්න එපා."
විලියම් ඒ මොකවත් ඇහුණෙ නෑ වගේ යන්න ගියා.
තේ වෙලාවෙන් පස්සේ කවි කතා වාරයක් පවත්වන්න යෝජනා කළේ ජේන් නැන්දා.
"මේ පොඩ්ඩෝ සින්දු කියනවා අහන්න මට හරි ආසයි," ජේන් නැන්දා කිව්වා. "මේ හැමෝටම ලස්සන කවි එකක් හරි අනිවාර්යෙන්ම මතක ඇති."
බාබරා ලැජ්ජාවෙන්, ඒත් සතුටින් නැගිට්ටා.
"පුංචි දුඹුලු මල්ලියේ - ඔයා කවුලු වෙන්නද කැමති?
මංනං මගෙ අම්මා වගේ සුදු පොපි මලක් වෙනවා - ඔයත් වෙන්නකෝ පොපි මලක් මං වගේ!
අනේ ඔයාට ඕනෙ කහ මලක් වෙන්නද? ඔයා රත්තරන් පාට වෙලා උස ගියාම මට ඔයා නැති පාළුව දැනෙයි!
ඒත් මං මී මැස්සෝ එවන්නම් ඔයා ලඟට, හාදු දෙන්න - පුංචි දුඹුලු මල්ලියේ!"
වේගවත් අත්පොළසන් නාදය මැද්දේ ජම්බු ගෙඩියක් වගේ රතු වෙච්ච බාබරා ඉඳගත්තා.
ඊලඟට ජිමීව ඉඳං හිටපු මුල්ලේ ඉඳලා බලෙන්ම ඉස්සරහට තල්ලු උනා. මරණ දඬුවමට සූදානම් වෙලා තුවක්කු අතින් ගත්ත සෙබළු ඉස්සරහා හිටං ඉන්නවා වාගේ කෙළින් හිටගෙන ඇස් පියාගෙන ජිමී ගයන්න පටන් ගත්තා --
"පුංචිකරුණාවල්පුංචිආදරවදන් මේලෝකෙලස්සනකරයි දිව්‍යලෝකෙවාගේ." මුළු කවියම එක හුස්මකින් පිට කරපු ජිමී හති දමමින් වාඩි උනා.
ඒ වතාවෙදි ලැබුණේ කළින්ට වඩා ටිකක් අඩු අත්පොළසන් නාදයක්.
"දැන් විලියම්!"
"මං ඕවා මුකුත් දන්නෙ නෑ," එයා කිව්වා.
"මොකද නැත්තේ, ඔයා දන්නවනේ," අම්මා කිව්වා. "ඔයා ගිය වාරෙදි ඉස්කෝලෙ ඉගෙනගත්ත එක කියන්නකෝ. නැගිටලා ලස්සනට කියන්න."
විලියම් හෙමින් හෙමින් නැගිට්ටා.
"හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා," එයා පටන්ගත්තා. ඊලඟට නතර වෙලා කැහැලා, උගුර පාදලා ආයෙත් පටන්ගත්තා.
"-හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා-"
"ඉතිං කියන්ඩකො!" එයාගේ අයියා ඉක්මන් කරන කටහඬකින් මිමිණුවා.
"මං කොහොමද කියන්නෙ ඉතිං ඔහොම කතා කරද්දි?" විලියම් සැර උනා. "ඔහොම සැරින් සැරේ කියන්න කියන්න කියද්දි මං කොහොමද කියන්නෙ? ඒක කරන්න බෑනේ!"
ඊලඟට ආයෙත් පටන්ගත්තා. "හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා, අක්කා අර විදිහට හිනා වෙනවනං මං කවි කියන්නෙ නෑ. මේක විහිලු කවියක් නෙවෙයිනේ. එයා ඔය විදිහට හිනා වෙනවනං මං තව එක වචනයක්වත් කියන්නෙ නෑ."
"ඊතල්!" අම්මා දොස් පවරන හඬින් අක්කාට කතා කළා. ඊතල් එයාගෙ පුටුව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගත්තා විලියම්ට එයාගෙ මූන පේන්නෙ නැති වෙන්න. විලියම් ඒ දිහා බොහොම සැකෙන් ඔරවගෙන හිටියා.
"දැං කියන්නකො පුතේ," අම්මා කිව්වා, "දැං ආයි කවුරුවත් ඔයාට කරදර කරන්නෙ නෑ."
විලියම් ආපහු වතාවක් කැහැලා උගුර පාදලා පටන්ගත්තා.
"-හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා-"
ඊලඟට ආපහු නතර වෙලා කමිස කර හදලා මූණට වැටිලා නලියමින් තිබ්බ කෙස් රොදක් පිටිපස්සට කළා.
"-කප්පිත්තා ගෙනත් තිබ්බා---" ජේන් නැන්දා කරුණාවන්ත හඬින් කවියේ ඉතිරි පදය මතක් කළා.
විලියම් කෙළින්ම නැන්දා දිහාවට හැරුණා.
"මං ඒක කියන්නනේ හිටියේ, ඇයි මට පාඩුවේ ඒක කියන්න දුන් නැත්තේ," එයා කිව්වා. "මං ටිකක් මතක් කළා විතරයි. සමහර වෙලාවට එහෙම මතක් කරන්න වෙනවනේ. ඒ වගේ දිග කවියක් එහෙම මතක් නොකර කියන්න පුළුවනැයි? හරි, මං දැං ඒ වෙනුවට ඔයගොල්ලන්ට මැජික් එකක් කරලා පෙන්නන්නං," එයා නො ඉවසිල්ලෙන් කිව්වා. "මං මගෙ පොතෙන් ඉගෙන ගත්තෙ. ඉන්න මං ගිහින් ලෑස්ති වෙලා එන්නං."
විලියම් කාමරයෙන් පිට උනා. විලියම්ගේ තාත්තා සාක්කුවෙන් ලේන්සුව එළියට අරන් නළල පිහදාගත්තා.
"මේ," තාත්තා හෙමිහිට කතා කළා, "මේ සංදර්ශනේ තව කොච්චර වෙලා විතර තියෙයිද?"
මේ වෙලාවෙදි විලියම් ආපහු ආවා. එයාගෙ කලිසම් සාක්කු මොනවයින්දෝ පිරිලා තිබුණා. එයාගෙ අතේ ලොකු ලේන්සුවක් තිබුණා.
"මේ තියෙන්නේ ලේන්සුවක්," එයා ලේන්සුව පෙන්නලා කිව්වා. "මේක ඇත්ත එකක්මද කියලා දැනගන්න ඕනෙනම් ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. දැං මට සිලිමක් ඕනේ," විලියම් බලාපොරොත්තු සහගතව ප්‍රේක්ෂකයන් දිහා බැලුවා. ඒත් කිසි කෙනෙක් හෙල්ලුනේවත් නෑ. "හරි එහෙනං පැන්සයක් උනත් කමක් නෑ," එයා කිව්වේ ටිකක් කළකිරුණු හඬකින්. රොබර්ට් අයියා පැන්සයක් සාලෙ මැද්දෙන් විසි කළා. "හරි, ඔන්න මං දැන් මේ කාසිය ලේන්සුව ඇතුලට දානවා. මේ පේනවනේ? කාටහරි ඇවිල්ල බලන්න ඕනෙනම් ලේන්සුව ඇතුලේ කාසිය තියෙනවද කියලා ඇවිත් බලන්න පුළුවන්. ඊලඟට," විලියම් අනිත් පැත්ත හැරිලා සාක්කුවෙන් මොකද්දෝ එළියට ගත්තා. තව විකාර අඟර දඟර කීපයකට පස්සේ විලියම් ආපහු ප්‍රේක්ෂකාගාරය දිහාවට හැරුණේ ලේන්සුව අතින් තද කරගෙන. "දැන් ඔන්න හොඳට බලන්න," එයා ඔවුන් ලඟටම ගියා, "ඔයගොල්ලන්ට පෙනෙයි අර සිලි-- මං කිව්වෙ පැන්සය," විලියම් කතා කරන අතරේ රොබර්ට් අයියා දිහා ඔරවලා බැලුවා, "බිත්තරයක් වෙලා. ඇත්තම බිත්තරයක්. කාට හරි ඕනෙනම් ඒක් ඇත්තම බිත්තරයක්ද කියලා---"
ඒක ඇත්තම ඇත්ත බිත්තරයක්. ඒ බව ඔප්පු කරමින් ඒක සද්දෙකුත් එක්ක බිඳිලා ඇතුලේ තිබ්බ බිත්තර සාරු බුමුතුරුණ උඩත් එවැන්ජලින් නැන්දගේ ඇඟ පුරාමත් ඉහිරුණා. ඒ එක්කම දෝෂාරෝපණ කුණාටුවක් හමාගෙන ගියා.
"කලින් අර ජරා සතා," එවැන්ජලින් නැන්දා අඬන්න ඔන්න මෙන්න, "දැං මේ ජරාව මගේ මුළු ඇඟ පුරාම. හොඳ වෙලාවට මං මේ ගෙදර පදිංචි කාරයෙක් නොවුනෙ. අවුරුද්දටම එක දවසක් හොඳටෝම ඇති!"
"මදැයි!" ජේන් නැන්දා කිව්වා.
"අළුත්ම බිත්තරයක්නේ අරගෙන තියෙන්නේ," ඊතල් අක්කාත් තරහින් කිව්වා.
විලියම් තරහෙන් සුදුමැලි වෙලා හිටියේ.
"මං කළේ මේ පොතේ තිබ්බ දේ. මෙන්න බලන්න. ඒකෙ තියෙන්නේ: 'බිත්තරයක් අරගෙන සාක්කුව තුළ සඟවාගන්න.' මං එහෙම තමයි කළේ. මට පේන්නේ," එයා ඇඹුල් වෙච්ච මූණෙන් කිව්වා, "මට පේන්නේ මේකෙ තියෙන්නේ 'කොල්ලන්ගේ වැඩ' නෙමෙයි 'කොල්ලන්ට බැරි වැඩ.'"
විලියම්ගේ තාත්තා හෙමිහිට පුටුවෙන් නැගිට්ටා.
"අන්න හරි මගෙ පුතේ, හරියටම හරි," බොහොම ආචාරශිලීව එහෙම කියපු තාත්තා විලියම් තදින් බදාගෙන හිටපු පොත අරගෙන බිත්තියේ හයි කරලා තිබ්බ පොඩි අල්මාරිය ලඟට ගියා. ඒ අල්මාරියේ තව ඒ විදිහට රාජසන්තක වෙච්ච වතුර විදින තුවක්කුවක්, හොරණෑවක්, කැටපෝලයක් සහ මවුත් ඕගනයකුත් තිබුණා. තාත්තා අල්මාරිය අරිද්දී ඇහැට අහු වෙච්ච ඒ පෞරාණික වස්තු සම්භාරය විලියම්ගේ දුක තවත් වැඩි කළා.
"නත්තල් දවසෙවත්..."
විලියම් තමන්ගේ නිහඬ කෝපයේ ඇලී ගැලී ඉන්න අතරවාරෙදී පල්ලියට ගිහින් හිටපු ලුසී නැන්දා ආපහු ආවා.
"පූජකතුමා දේශනා පැවැත්වුවේ නෑනේ," නැන්දා කිව්වා. "උදේ දේව මෙහෙය හරිම ලස්සනට තිබ්බා කියලා හැමෝම කිව්වා. මං කිව්වෙ, විලියම් ඒක ගැනම හිත හිත දුක් වෙන්න ඕනෙ නෑ. ඒත් එයා නිසා මට නැති උනේ බොහොම වටින දෙයක්."
"නියමයි විලියම් අයියෙ!" ජිමී නිදිමතේ කෙඳිරුවා.
එදා රෑ නිදාගන්න ලෑස්ති වෙලා ඇඳුම් මාරු කරන අතරවාරයේ මල් ලියකම් වලින් වට වෙච්ච කියමන ආපහු විලියම්ගේ ඇහැට අහු උනා: "කාර්යබහුල දිනයක් යනු සතුටින් පිරි දිනයකි."
"විකාර," එයා කේන්තියෙන් තමන්ටම කියාගත්තා. "මහ වැඩකට නැති විකාර කතාවක්."
~සමාප්තයි~
පින්තූරෙ හොයාගත්තෙ මෙන්න මෙතනින්: http://just-william.net/