භාග්‍යාවයි ධනංජයවයි අමතක නැති යාළුවන්ට, භාග්‍යාගේ සිතුවිලිවලින් කියවපු කතාන්දරයේ පුංචි කොටසක් ඔන්න ධනංජයගේ සිතුවිලිවලින් අරගෙන ආවා. 😇
ඉන් පෙරද භාග්‍යා බීට්රූට් අලයක් මෙන් රත් පැහැ ගැන්වෙනු ධනංජය ඕනෑතරම් දැක ඇත. එවන් විටෙක කොක් හඬලා සිනාසෙනවා හැරෙන්නට වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ධනංජයට සිතී තිබුණේ නැත. නමුත් මෙවර ඔහුට සිතුණේම ඈ බදා වැළැඳ මුව සිපගන්නටය. ඒ, ඈ මෙවර එම සොඳුරුතම පැහැයට හැරුණේ තමා නිසා බව ඔහු වටහාගත් බැවිනි. මුල් කාලයේදී මෙන් ඔහුගේ කමකට නැති දෙපිටකාට්ටු වදන් හමුවේ නැගි අපහසුවට පත් ලැජ්ජාව හේතුවෙන් නොව, ඒ ඔහු නිසාම හටගත් කෝල බව හේතුවෙන් වූ නිසාවෙනි. ඒ හැරෙන්නට පෙර දිනෙක අහම්බයෙන් ගැටුනු එම දෙතොලෙහි රසය ඔහුට තවමත් අමතක නොමැති බැවිනි.
නමුදු සිය කාමරයේ දොර අල්ලුව කිටි කිටියේ සුරතින් තද කොටගෙන, කතා කරන්නට පටන්ගෙන තිබූ ඇගේ දෑස් දෙස නොසෙල්වී බලා සිටියා විනා ඔහු වදනකුදු දෙඩුවේ නැත. මේ ඔහුගේ ස්වභාවය නොවීය. යුවතියන්ගේ විදුලි කොටනා දෑස් අභියස ඔහු සාමාන්‍යයෙන් මෙලෙස නිසොල්මන් නැත. නමුත් මෙම මායාකාරිය ඔහුව කණපිට හරවන්නට පටන්ගෙන ඇත. අවසන ඇය ම ඔහුට සුබ රැයක් පතා පියගැටපෙළ පහළට දිව ගිය මොහොතේ ඔහු නළලත දොරටුවේ ගසාගෙන කල්පනා කළේ, තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම වහළය යටම වෙසෙනා මෙම මුවැත්තිය බියපත් නොකොට ඈ වෙත සමීප වන්නේ කෙසේදැයි කියාය.
එළැඹුනු විවේකී සති අන්ත සන්ධ්‍යාවේ ධනංජය රූපවාහිනිය ඉදිරියේ හිඳගත්තේ චිත්‍රපටයක් නරඹන්නටය. සිය චිත්‍රපට තැටි එකතුවෙන් ක්‍රියාදාම චිත්‍රපටයක් තෝරාගෙන තැටි ධාවකයට ඇතුල් කළ ඔහු හරිබරි ගැසී සෝපාවේ වැතිරගත්තේය. කඩමණ්ඩියට ගොස් සිටි භාග්‍යා නිවසට ඇතුලු වූයේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා උද්වේගකර සටන් ජවනිකාවක නිරත වෙමින් සිටියදීය. "ශා! බෙන් ඇෆ්ලෙක්!" ඇගේ හඬ ඔහුට පිටුපසින් ඇසුනි. "අනේ මුළ ඉඳන් දාන්නකෝ!"
"තේ හම්බවෙනවානං මුළ ඉඳන් දාන්නං!" ඔහු පවසා සිටියේය.
"හා හා, ගේන්නං ගේන්නං!" භාග්‍යා ගෙන ආ බඩු මලුද ඔසවාගෙන විගසින් මුළුතැන්ගෙය වෙත දිව ගියාය.
කේතලයේ වතුර උතුරන පමාවෙන් දුම් දමන ඉඟුරු තේ කෝප්පයක්ද රටකජු පිරවූ බඳුනක්ද රැගෙන ඈ පැමිණෙද්දී ඔහු ච්ත්‍රපටය යළි ආරම්භක ස්ථානයට ගෙනැවිත් තිබුණි. තේ කෝප්පය අතට ගනිමින් කෙළින් වී හිඳගත් ධනංජයට ඈ තමා ළඟින් හිඳුවාගන්නට හදිසියේම ආශාවක් පහළ විය. නමුදු ඈ හා ගනුදෙනු කළ යුත්තේ තම හුරුපුරුදු විලාශයෙන් නොවන බව ඔහු මේ වනවිට වටහාගෙන සිටියේය. නිකමට මෙන් ඔහු සෝපාවේ පසෙකට වූවද ඈ ඉතිරි ඉඩෙහි හිඳගනු ඇතැයි විශ්වාසයක් ඔහුට නොවීය. නමුත් මොහොතක් පුදුමයෙන් බලා සිටි ඇය ඔහුද පුදුමයට පත් කරමින් එහි හිඳගත්තාය. ධනංජයගේ හිසෙහි මල් දහසක් පිපුණි. දෑස් රූපවාහිනී තිරය වෙතම යොමු වී තිබුණද තරමක් වේලා ගතවන තුරු ඔහු චිත්‍රපටය නැරඹුවේ නැත. ඔහුගේ සිත බොහෝ සේ කාර්යබහුලව තිබුණි. තමා කුමක් හෝ පැවසිය යුතුද? චිත්‍රපටය ගැන? ඈගේ රසැති තේ කෝප්පය ගැන? නැතහොත් ඇගේ සාප්පු සවාරිය ගැන? ඇගේ සිතුවම් ගැන? ඉන්දියානු ගමන ගැන? නමුත් ඔහුගේ මුවට වදන් ගලා එන්නේ නැත. අවසන, එම චුම්භකාකර්ෂණය තව දුරටත් දරා සිටිය නොහැකි වූ තැන ඔහු ඈ වෙත හොරැහින් බැල්මක් හෙලුවේය. ඈ ද රූපවාහිනියේ නෙතු අලවාගෙනය. රටකජු බඳුනට අතවත් තබා නැත. අවසන රටකජුවල පිහිට පතන්නට තීරණය කළ ඔහු අත දිගු කොට ඇගේ උකුළ මත වූ බඳුනින් රටකජු අහුරක් අතට ගත්තේය.
භාග්‍යා දැහැනකින් මිදුණාක් මෙන් දෑස් හයා ඔහු දෙස බැලුවාය. "අනේ සොරි. ගන්න ගන්න, ටවුමෙන් දැන් එන ගමන් අරගෙන ආවේ." ඇය බඳුන ඔහු වෙත පෑවාය.
"මේ ඇති, ආයෙ පස්සෙ ගන්නං."
ඉන් අනතුරුව ඇය චිත්‍රපටය ගැනත්, එම නළුවා ගැනත් කතා කරන්නට පටන්ගත්තාය. ඔහු හූමිටි දෙමින් ඈ කියනා සියල්ලට එකඟ වෙමින් මීළඟ වතාවේ තෝරාගත යුත්තේ ප්‍රේම ජවනිකා බහුලව ඇති චිත්‍රපටයක් බව සිතට ගත්තේය.
"ඇයි අද ඔයා රණ්ඩුවෙන්නෙ නැත්තෙ?" ඇය හදිසියේම විමසුවාය.
එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත පැනයක් විය. "හැහ්?"
"අද ඔයා හරි වෙනස්නේ. මං කියන ඔක්කොටෝම හූමිටි දෙනවා."
"ආ... ඒකද..." ඔහු සිනහවක් පෑවේය. "ඔයාගේ අප්පච්චිගෙන් මං ඉගෙනගත්තේ. කුඩම්මා කියන කියන එකට හූම් කියනවා අප්පච්චිත්..."
ඇය නළල රැළි කරගත්තාය. "ඉතින්?"
"ඉතින් මටත් එහෙම කරලා බලන්න හිතුණා!"
ඇය තව මොහොතක් ඔහු දෙස බලා හිඳ "පිස්සුද කොහෙද," යැයි පවසා මඳක් දුරස් වූවාය.
ඔහු වහා සිය ක්‍රමෝපාය වෙනස් කරන්නට තීරාණය කළේය. "ඒක නෙවෙයි, අන්න අර නිළිය ඉන්නවා නේද..." ඔහු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පෙන්වමින් ඈ ගැන වර්ණනා කරමින් දොඩන්නට විය. ඇය ඔහුගේ බස්වලට හූමිටියකින් හෝ සහයෝගයක් නොදී බුම්මාගෙන නිහඬ වූවාය. එම ඊර්ෂ්‍යාකාර ගැහැනු සිතට තමා මෙතරම්ම ආශක්ත වන බව මෙතෙක් දැන නොසිටියේ මන්දැයි ඔහු මෙනෙහි කළේ ඈනුමක වේශයෙන් සඟවාගත් සිනහවකිනි. එම ඈනුම් සිනහව සඟවාගන්නට එසැවුණු ඔහුගේ වමත නතර වූයේ ඇයට පිටුපසින් සෝපාවේ ඇන්ද මතිනි.
චිත්‍රපටයේ හෝරාවක් ගෙවී යන්නට ආසන්නයේදී චිත්‍රපටයේ ත්‍රාසය උච්ඡතම අවස්ථාවට නැගැ තිබුණි. භාග්‍යා ගල්ගැසුණු ලෙසින් එදෙස බලා සිටියේ රටකජුද නැවත වරක් අමතකව ගිය ලෙසිනි. ධනංජය සෝපා ඇන්ද මත වූ සිය වමත හෙමි හෙමින් ඇගේ උරහිස වටා රැඳවූවේය. භාග්‍යා එක්වරම සිය දැහැනින් මිදුණද සෙලවුණේ නැත. ඇගේ කෝපාන්විත එරැවුමක් ලබන්නට ඔහු සූදානමින් සිටියද, ඇගේ දෑස් රූපවාහිනී තිරයෙන් මිදුණු බව ඔහු දුටුවද, ඈ ඔහු දෙස බැලුවේ නැත. ඉන් දිරි ලැබගත් ධනංජය සිය ග්‍රහණය වඩාත් සුරක්ෂිතව දැනෙන අයුරින් ඇයට මඳක් සමීප විය. "බය වෙන්න එපා, ඔයාගේ වීරයාට මුකුත් වෙන්නේ නෑ..." ඔහු ඇගේ සවනට මිමිණුවේය. අනතුරුව රටකජු ඇට දෙක තුනක් ගෙන ඇගේ මුවට ළං කළේය. සඳළුතලයේ හිඳ රෑ නිදි වරමින් අවුරුදු ඇඳුම් සිතුවම් කළ දා මෙන් ම ඈ මුව විවර කර ඔහුගේ සංග්‍රහය පිළිගත්තාය.
තමා හට මේ දැනෙන්නේ මුල් වරට යුවතියකගේ කැමැත්ත ලැබූ ප්‍රේමවන්ත යෞවනයෙකුට දැනෙනා ප්‍රීතිය විය යුතුයැයි ධනංජය සිතාගත්තේය. හද බැඳි ආදරයකට පෙර යුවතියන් හා වෙනත් අන්දමේ ඇසුරකට හුරුව සිටි ඔහුට මෙබඳු පිවිතුරු හැඟීමක් ඉන් පෙර දැනුණානම් ඒ ද භාග්‍යා නිසාම ය. ශීතල රජයන සිරිපා හිමය පේන මායිමේ පිහිටි ඇගේ නිවහනේදී එම හිමිදිරි උදෑසන ඈ තමාට තුරුළුව නිදා සිටි අන්දම දැකීමෙන් සිතට දැනුණු ආදරය ඔහුට තවමත් මහත් පුදුමයෙකි. හුදු ගනුදෙනුවක ස්වරූපයෙන් සිදු කෙරුණු විවාහය හේතුවෙන් තම ජීවිතයට එකතු වූ මෙම අරුම පුදුම මායාකාරිය තම ජීවිතය උඩු යටිකුරු කරමින් සිටිනා අන්දම ගැනද ඔහු තවමත් පුදුමයෙනි.
පෙර නොවූ අරුමෙකී ජීවිතේ
නුඹ සොයා පියඹනා සිත මගේ
නවතනූ බැහැ ඉතින් සොඳුරියේ
බැලූ බැලූ අතේ පිපී කුසුම් සිනා සැලේ
කුරුළු තුඩ'ග නිබඳ මියුරු ගී කතා ඇසේ
දුටිද නන් සොබා වැනුම් මෙ නුඹ නමින් මැවේ
තෙලිතුඩින් මවා සිහින පණ පොවන රඟේ
රන් රුවින් දිලෙන තරු මට කුමටදෝ ළඳේ
ගගන එකළු කළ සඳමිණ නුඹ සදා මගේ