365. Third Person Limited Point of View

 


Third Person Limited Point of View (ප්‍රථම පුරුෂ සීමිත දෘෂ්ඨි කෝණය).

පාසල් කාලයේදී පටන් අසා තිබෙන උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණ අතර මේ නම එතරම් හුරු පුරුදු නැති වුවත්, මෙම ආඛ්‍යාන රටාවෙන් ලියැවුණු කෘතිනම් ඔබ ඕනෑතරම් කියවා ඇති. 

ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවෙන් කෘතියක් රචනා කරන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා; එකක්, සියල්ල දන්නා, සියල්ල දකිනා Third Person Omniscient Point of View, අනිත් එක තමයි මම අද විස්තර කරන්නට බලාපොරොත්තු වන Third Person Limited Point of View. මෙය ඇතැම් තැනක 'Indirect Internal Narrative' ලෙසින්ද හැඳින්වී තිබෙනවා මම දුටුවා. මෙතනදී විශේෂත්වය වන්නේ කතාව ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවට අයත් ඔහු, ඇය, ඔවුන් ආදී වශයෙන්, නමුත් තෝරාගත් එක් ප්‍රධාන චරිතයකට (හෝ කිහිපයකට) ඉතාමත් සමීපව වීම. පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ එම දෘෂ්ඨි කෝණයට අයත් චරිතය දකිනා සහ දන්නා දේවල් පමණයි. ඔහුගේ හෝ ඇයගේ දැනුමින් පරිබාහිරව කතා සන්දර්භය තුළ සිදුවන කිසිවක් පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. සෙසු චරිතවල හැඟීම් සහ සිතුවිලිවලට පිවිසෙන්නට පාඨකයාට අවසරයක් ලැබෙන්නේත් ප්‍රධාන චරිතය එම කාරණා නිරීක්ෂණය කරන ආකාරය මත පමණයි. 

මෙම සීමිත බව නිසා කතාන්දරයක කුතුහලය උපරිමයෙන් රඳවාගන්නට විශාල පහසුවක් කතුවරයාට ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතයට සමීපව කතාන්දරය දිගහැරීමෙන්, එම චරිතය තුළ සිතුවිලි හා හැඟීම් ඝට්ටනය වන අන්දම පුළුල්ව ගෙන හැර පෑමෙන් පාඨකයාට එම චරිත පිළිබඳව ප්‍රබල සහකම්පනයක් දැනෙනවා. එය කතාන්දරය වඩාත් සංවේදීව රසවිඳින්නට පාඨකයාට ප්‍රයෝජනවත් වෙනවා.

Third Person Limited දෘෂ්ඨි කෝණයෙන් ලියවුණු, මට මේ මොහොතේදී සිහිපත් වන දැවැන්තම නිර්මාණයක් තමයි George R. R. Martin ගේ ‘A Song of Ice and Fire’ කතා මාලාව. එහි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට එක් එක් චරිත විසින් කතාන්දරය ගෙන එන්නේ මේ කියූ දෘෂ්ඨි කෝණයෙන්. පරිච්ඡේදය ආරම්භයේදී එය ගෙන එන්නේ කවරෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්ද කියා සඳහන් කොට තිබෙන නිසා පාඨකයාට පටලැවීමක් සිදුවන්නේ නැහැ. කතුවරයාගේ දැවැන්ත මනඃකල්පිත මවාපෑම තුළ පුළුල් පරාසයක විහිදෙන මේ කතා මාලාවට ඔහු චරිත බොහොමයක දෘෂ්ඨි කෝණ ඈඳාගෙන තිබෙනවා. ඒ සියල්ල සමබරව කතාන්දරය තුළ රඳවාගන්නට තරම් ඔහු අති දක්ෂයෙකු බව අප සියල්ලන්ම දන්නවානේ.

පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මෙම Third Person Limited Point of View යොදාගැනුණු තවත් අවස්ථාවක් තමයි මම පරිවර්තනය කළ Nicholas Sparks කතුවරයාගේ ‘අවසන් ගීතය’ පොත. එහි සිටිනා චරිත බොහොමයක් අතුරින් කතාන්දරය ඉදිරිපත් කෙරෙන්නේ එකිනෙකට වෙනස් චරිත හතරක් හරහා. රොනී - දහ හත් වියැති විප්ලවකාරී සිතුවිලි හා ගතිපැවතුම් ඇති යුවතියක්, විල් - කාරුණික හා ඉවසිලිමත් ගති පැවතුම් ඇති තරුණයෙක්, ස්ටීව් - මුහුකුරා ගිය දැක්මකින් සියල්ල දකිනා රොනීගේ පියා, මාර්කස් - දඩබ්බර ප්‍රචණ්ඩකාරී තරුණයෙක්. මේ එකිනෙකා ගෙන එන පරිච්ඡේද තුළදී ඒ එකිනෙකාගේ සිතුවිලි අභ්‍යන්තරයට එබී බලන්නට පාඨකයාට ඉඩ ලැබෙනවා. එම සිතුවිලි තුළ ඇති විවිධත්වය, එම පරිච්ඡේද තුළදී භාවිතා වන වචනවල මටසිළුටු බව හා ගොරහැඩි බව අතර වෙනස ආදිය මගින් පාඨකයාට ඒ එකිනෙකක් චරිත හා සමපාත වන්නට කතුවරයා ඉඩ ලබා දී තිබෙනවා. මේ එම පරිවර්තනයේ විල්ගේ පරිච්ඡේදයකින් උපුටාගත් එක් ඡේදයක්:

//

විල් සිය ගමන් වේගය වැඩි කරන අතරේ කුඩා දරුවෙකුගේ හැඬීමක් යාන්තමින් ඔහුට ඇසුණි. සෙනග අතරින් මිදී කවය තුළට පිවිසි ඔහු ලාන්ස් වෙතට හැරුණු මොහොතේ එක් වරම කොහේදෝ සිට ගැහැනු ළමයෙකු එතැනට කඩා පාත් විය.

"නවත්තනවා ඕක!" ඇය දෑත් විහිදුවමින් කෑ ගැසුවාය. "ඔය හැමෝම! දැන්මම නවත්තනවා ඕක!"

//

මේ පරිච්ඡේදයට පෙර රොනීගේ සහ ඇගේ පියාගේ පරිච්ඡේද පසු කර පැමිණි නිසා මෙම ගැහැනු ළමයා කවුරුන්ද කියා පාඨකයා දන්නවා. නමුත් විල් තවමත් ඇගේ නම නොදන්නා නිසා, එතෙක් ඔහුගේ පරිච්ඡේද තුළ ඈ හැඳින්වෙන්නේ එම ගැහැනු ළමයා, දම් පැහැ කෙස් රොදක් ඇති ගැහැනු ළමයා ලෙසින්. 

මේ Third Person Limited දෘෂ්ඨි කෝණ ආඛ්‍යාන රටාව එක්ක මගේ තියෙන අත්දැකීම තව දුරටත් පුළුල් වුණේ 'හද වෙණ සත්සර' නවකතාව එක්ක. මේ කතාව, මින් අවුරුදු හතරකට කළින් මං මුළින්ම ලිව්වේ උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන්, කතාකරන භාෂාවෙන්. ඒ කතාකරන භාෂාව ඇතුළේ තිබුණේ බොහොම සැහැල්ලු, ඉංග්‍රීසි - සිංහල මිශ්‍ර වුණු සරල ආඛ්‍යානයක්. කතාවේ ප්‍රධාන කාන්තා චරිතය වුණු අමන්දිගේ චරිත ස්වභාවය අනුව ඇගේ සිතුවිලි ඝට්ටන උත්තම පුරුෂයෙන් ගෙන එන්න වුණේ මට ඒ විදිහට. ඒත් ඒක කෘතියකට සුදුසු බවක් මට දැනුණේ නැහැ. ඒ නිසා මම කතාන්දරය උත්තම පුරුෂයෙන්ම ලිඛිත භාෂාවට ගේන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ, ලියන මට ම එතන දැනුණේ මහා කෘත්‍රිම බවක්. ඒ නිසා ඒ උත්සාහය අත් ඇරලා ආයෙ කාලෙකට පසුව මම කතාන්දරය මුළ ඉඳන් ලියන්න පටන්ගත්තා ප්‍රථම පුරුෂයෙන්, නමුත් ඇගේ සිතුවිලි ඝට්ටනයට හානි නොවෙන විදිහට. එතනදී මගේ අතින් ලියවුණු ස්වභාවයේ වෙනස මට දැනුණා. ඒ ගැන වැඩිදුර විස්තර සොයා බලද්දි තමයි මට අන්තර්ජාලයේ Third Person Limited Point of View යෙදුමත්, ඒ ගැන ලියවිලා තියෙන න්‍යායාත්මක තොරතුරුත් දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඒ ආකාරයෙන් ලියවිලා තිබුණු අනෙකුත් කෘති ගැන සිහිපත් වුණේ. ඉතින් මම 'හද වෙණ සත්සර' මුළු කතාන්දරයම ආපහු ලිව්වා. කතාන්දරයට 'හද වෙණ සත්සර' කියන නම යෙදුවේ ම හදවත තුළ ඇතිවෙන විවිධාකාරයේ කම්පනයන් එක්ක අපි ගැටෙන විදිහ නිරූපණය කරන කතාන්තරයක් නිසා. ඒ නිසා ඒ හැඟීම් සහ සිතුවිලි තාත්විකව පාඨකයා වෙත ගෙන එන එක මගේ යුතුකමක්. කෘතිය දිගහැරෙන්නේ වෙණ වැයුම් එහෙමත් නැත්නම් කොටස් තුනක් ලෙසින්. මුල් කොටස් දෙක කියවෙන්නේ අමන්දිගේ දෘෂ්ඨි කෝණයෙන්. තුන්වෙනි කොටස කියවෙන්නේ ඇගේ හදවත සොරාගත් තැනැත්තාගේ දෘෂ්ඨි කෝණයෙන්. මේ අවුරුද්දේ මුළ පොතක් විදිහට ඔයාලා අතට ලැබුණේ අන්න ඒ කතාන්දරය. එහි සෝදුපත් පරීක්ෂා කරපු Chandika Abeywickrama සොහොයුරා සමග දුරකතනය හරහා ඒ ගැන ඇතිවුණු වාද විවාද සංවාද සමග මගේ ඒ අත්දැකීම තවත් පුළුල් වුණා. මේ එම කෘතියෙන් උපුටාගත් කොටසක්:

//

එම මැටි මෝල් මුහුණ වෙතින් ඉවතට හැරෙනා විටද තමා ඔරවාගෙන සිටි බව ඇයට මතකය. 

"ඔයාට තේරෙනවද මං කියන දේ?"

ඒ හතරබීරි කතා කිසිවක් ඇයට වැටහෙන්නේ නැත. නමුත් නොවැටහෙන බව පැවසුවහොත් ඔහු තවදුරටත් පැහැදිලි කරන්නට පටන්ගනු ඇත. ඒ වනවිටද ඔහුගේ දෙකන් දුම් දමන තරමට රතු වී තිබුණි. ඇගේ මුහුණ දුම් පමණක් නොව ගින්දරද පිට වන තරමට රතු වී තිබුණි. "ඔව්," ඇය පිළිතුරු දුන්නාය.

//

අමන්දිගේ අභ්‍යන්තර සිතුවිලිවලට අනුව එතැන සිටින්නේ හතරබීරි කතා දොඩනා මැටි මෝලෙකි. මෙම කොටස සාමාන්‍ය ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කෙරෙනවාට වඩා සමීප බවක් පාඨකයාටත්, උත්තම පුරුෂයෙන් ඉදිරිපත් කරනවාට වඩා යම් පාලනයක් කතුවරයා ලෙසින් මටත් මෙතනදී ලැබෙන බවක් මට දැනෙනවා.

මෑතකදී මගේ අතින් සයිබර් අවකාශයේ ලියැවුණු 'සිනහ වෙනු මැන වේදනා පිස දා' කතාන්දරයේදීත් පාඨකයාට මේ අත්දැකීම ලැබුණා. එතනදී මුළු කතාන්දරයම ඉදිරිපත් වුණේ භාග්‍යා නමැති තරුණ චිත්‍ර ශිල්පිනියගේ Third Person Limited දෘෂ්ඨි කෝණයෙන්.

//

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. භාග්‍යා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. සේනාධීර පවුල කෑගල්ලේ වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරික පවුලකි. ධනංජය එකම පුත්‍රයාය. ඔහුගේ බාල සොහොයුරිය විවාපත්ව විදෙස්ගතව ඇත. පියා විසින් අධිපතිත්වය දරන ඇඟලුම් ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ සහය කළමනාකරු ලෙස සේවය කරමින් ධනංජය කොළඹ දිවි ගෙවන්නේ තනිවම ය. එතෙක් කල් භාග්‍යාගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව භාග්‍යා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. 

//

කතාව ආරම්භයේදී ඇගේ සිත තුළින් ධනංජය නමැත්තා පිළිබඳව පිළිබිඹු වන මෙම නොපැහැදීම කතාව අවසානය දක්වා ගලා යන අතරේ කෙමෙන් වෙනස් වන අන්දම කොටසින් කොටසට මගේ ආදරණීය පාඨකයන් අත්විඳි ආකාරයත්, අවසානය තෙක් ම ඔවුන් කුතුහලයෙන් පෙලුනු අන්දමත් මම හොඳින්ම දුටුවා. 

ස්තුතියි මේ දිග විස්තරය කියෙව්වාට. මේ බෙදාගත් මගේ ලේඛන අත්දැකීම්වලින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම් එය මට ලොකු සතුටක්. 💗


Some useful links:

https://blog.reedsy.com/guide/point-of-view/third-person-limited/

https://www.helpingwritersbecomeauthors.com/how-to-use-paragraph-breaks/