202. විල් අද්දර පිපි සියපත් යාය...

ලිවීම සිත්තමීගේ ප්‍රියතම විනෝදාංශය; ඒ වගේම, ආතතිය මුදා හැරීමේ මාධ්‍යය. කොළ කෑලි වල, දින පොත් වල කුරුටු ගගා හිටිය සිත්තමීට බ්ලොග් කියන මේ අරුම පුදුම ලෝකයට පය තියන්න හිතුණේ, කාලෙකට කළින් බ්ලොග් හරහා ලෝකය අමතපු, දැනට ජීවතුන් අතර නැති, සිත්තමීගේ ආදරණීය ගුරු පියාණන් කෙනෙක් නිසා. එතනින් පටන්ගත්ත බ්ලොග් ලිවීම මෙතනට එනකල් ආපු ගමනෙදි අතර මගදි නොකැඩුණාම නෙවෙයි. ඒ මාර්ග බාධකයෙදී මට ආයෙමත් පාර පෙන්නුවේ මගේ මුල්ම බ්ලොග් මිතුරු මිතුරියන් පිරිස. ජනූ අක්කා, රවි අයියා, පොඩි කුමාරිහාමි - ඉන් පස්සේ අන්දර මල්දමෙන් මාත් එක්ක එකතු වෙච්ච සොයුරියන් දෙන්නා - රන්දි අක්කා, අමා අක්කා. ඔයාලා පස් දෙනාටම බොහෝම පින්. ඒ වගේම පොඩ්ඩි අක්කාගේ වළව්වේ මම ලියපු ඒවා කියවලා දිරි දීපු, ඒ දවස්වල ඒ වළව්වට ගොඩ වෙච්ච හිතවතුන්ටත් පින්. 2012 මේ බ්ලොග් අඩවිය පටන්ගත් දා ඉඳන් මේ ඉසව්වට ගොඩ වෙමින්, කමෙන්ට් කරමින් මාව දිරි ගන්වාපු ආදරණීය හිතවතුන් හැම දෙනාටමත් බොහෝම පින්.


මේ වතාවේ සිත්තමී නෙළුම් යායට සහභාගි වුණේ දෙවැනි වතාවට. ගිය අවුරුද්දේ තිබුණ දෙවැනි නෙළුම් යායේදී සිත්තමීගේ ලිපියක් බ්ලොග් නව කතා අංශයෙන් නිර්දේශ වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා. ඒ වතාවට සාපේක්ෂව මේ වතාවේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු බව කියන්නේ ඉතාමත් සතුටින්. ඒ උත්සවය සංවිධානය කරන්න කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් කැප වුණ හැම දෙනාටම මගේ ප්‍රණාමය. හොඳම බ්ලොග් අඩවිය ලෙසින් සම්මාන ලැබූ නිදහස් සිතුවිලි අඩවියේ මගේ ආදරණීය අක්කණ්ඩිය සහ අයියණ්ඩිය ඇතුළු සම්මානලාභී සියලු දෙනාට මගේ හදපිරි සුබ පැතුම් එක් කරන්නත් මේක මම අවස්ථාවක් කරගන්නවා. 

මේ වතාවේදීත් බ්ලොග් නව කතා සහ පරිවර්තන අංශ දෙකකින් නිර්දේශ වෙලා පරිවර්තන අංශයෙන් දෙවැනි ස්ථානය සිත්තමීගේ මේ 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' බ්ලොග් අඩවියට ලැබුණා. ඒ ගැන නිහතමානී සතුටක් දැනෙනවා. (මගේ ලීසල්ටයි ජේම්ස්ටයි වැලේ වැල් නැති වෙච්ච එක ගැනනං දුකකුත් නැතිවාම නෙවෙයි. ඒ වුණාට මං දන්නවා, මං ඒ කතාව ලිව්වා තරම්ම කැපවීමකින් තමයි අනිත් හැම දෙනාමත් තමුන්ගේ කතන්දර ලියන්න ඇත්තේ. මගේ ආදරණීය නිර්මාණි නංගි ගැන හරිම සතුටුයි. සම්මාන ලබපු සොයුරු සොයුරියන් තිදෙනා ගැනවත්, විනිශ්චය ගැනවත් කිසිම අහිතක් නෑ. සිත්තමීගේ රහත් නොවිච්ච හිතට දැනුණ දුක ගැන කිව්වා විතරයි. :) )

ගිය සැරේ සම්මාන උළෙලට සිත්තමී තනියම ආවාට, මේ වතාවේ සිත්තරායි සිත්තර පැංචායිත් ආවා. සෙනසුරාදාට තියන අමතර පංතියේ ගෝලයන්ට නිවාඩු දීලා මගේ සතුට බෙදාගන්න මාත් එක්ක ආවාට සිත්තරාටත් ගොඩාක් පින්. පැංචාත් සෑහෙන්න සතුටින් හිටියා. ශාලාව වටේට ලස්සනට තරු බැබළුන විදිහට පැංචා හුඟක් ආස වුණා. ශාලාවේ අත්පොළසන් හඬ ඇහෙද්දී පැංචාත් හිනා වෙලා පුළුවන් විරියෙන් අත්පුඩි ගැහැව්වා. මට වේදිකාවට නගින්න වෙච්ච වෙලාවේ පැංචායි තාත්තායි ශාලාවේ හිටියේ නැහැ, දෙන්නත් එක්ක පල්ලෙහා ඇවිදින්න ගිහින් හිටියේ. ආපහු උඩට ඇවිත් මට හම්බවුණ ඒවා දැක්කාම පැංචා ගොඩාක් සතුටු වුණා. 'මේක මටද?' කියලාත් එයා ඇහැව්වා. කොළේකින් ඔතලා තිබ්බ පාර්සලේත් එයාට එවෙලේම ලිහලා බලන්න ඕන වුණා. ඒක ඇතුළේ ලොකු පොඩි සටහන් පොත් දෙක ඇරුණාම කිසිම දෙයක් නොතේරෙන තනිකරම දෙමළෙන් තිබුණ තව මොකද්ද පොත් පිංචක් තිබ්බේ ඇයිද කියලානම් අපිට හිතාගන්න බැරි වුණා. හැබැයි ඉතිං දඟයා කෑ ගගහා බිම පෙරළි පෙරළි දඟත් කළා. එයාගේ දඟ වැඩ වලින් උත්සව සභාවට පුංචි හරි බාධාවක් වුණානම් මම ඒ ගැන සමා වෙන්න කියලා ඉල්ලනවා. 

උත්සවයේ විශේෂාංගත් හොඳින් රස වින්දා. විශේෂයෙන්ම 'අපි මචං'ලාගේ ගායනය. ඔපෙරාව සොක්‍රටීස්ගේ මරණයට සම්බන්ධ දෙයක් බව ඇරෙන්න වෙන කිසිම දෙයක් නොතේරුණාට බලා ඉන්න රසවත් රංගනයක් වුණා. ඒත් තවත් කීප දෙනෙක්ම කියලා තිබුණා වාගේ, විශේෂාංග වලට වෙන් වුණ කාලය වැඩි බවක් මටත් දැනුණා. ඒ නිසා උත්සවය වෙනුවෙන් ඕනැවටත් වඩා වැඩි කාලයක් ගත වුණා කියලා මට හිතුණා. අන්තිම වෙද්දි පැංචාට නිදි මත වෙලා, අවසානයට තිබුණ නාට්‍යයවත් රස විඳින්නේ නැතුව අපිට යන්න වුණා. ඒ ගැන දුකයි. ඒකත් ගිය වතාවේ 'ආණ්ඩුවේ රස්සාවක්' වාගේම හුඟක් ලස්සන නිර්මාණයක් වෙන්න ඇති නොවැරදීම. සංග්‍රහය හොඳින් පිළියෙල වෙලා තිබුණත්, ඒ වෙද්දි හුඟක් ප්‍රමාද වෙලා තිබ්බ නිසා බඩගිනි වැඩි කමට කට්ටිය උත්සවය අමතක කරලා සංග්‍රහය රසවිඳින්න එකතුවුණා වගේ දැනුණා. සිත්තමීලාත් එහෙම තමයි. :)

කොහොමවුණත්, මේ හැම දේටම වඩා වටිනා දේ වුණේ සිත්තමීගේ බ්ලොග් යාළුවෝ කීප දෙනෙක්ම හමුවෙලා කතා කරන්න ලැබුණ එක. රන්දි අක්කා, නිර්මාණි නංගි, සිතූ, තුෂානි, තරු අක්කානම් මීට කළිනුත් මුණගැහිලා කතා කරලා තියෙනවා. බෝධි අක්කේ, ඔයාව මුණ ගැහිලා කතා කරන්න ලැබුණ එකනම් ගොඩක් වටිනවා. ඒ වගේම, අයිතිකාරයන් මුණ ගැහිලා කතා කරන්න ඉඩක් නොලැබුණත් තව වටින බ්ලොග් කීපයක් ගැනම දැනගත්තා මේ නෙළුම් යාය හින්දා. ඒ ගැන හරිම සතුටුයි.

කොහොම වුණත්, මේ හැම සතුටක් මැද්දේම, සිත්තමීගේ හිතේ තරමක කනගාටුවක් තියෙනවා. ඒ තමයි, සිත්තමී අකමැති, සිත්තමීගේ ගෞරවය දිනාගත්තේ නැති කෙනෙකු අතින් වේදිකාව මතදී සම්මානය ගන්න සිද්ධ වීම. ඒ තැනැත්තාව අනවශ්‍ය ආකාරයෙන් වර්ණනා කෙරෙනවා ඇහුණ ගමන්ම හිතට ආවේ ලොකු කළකිරීමක්. කීයටවත් හිතුවේ නැහැ ඔහු අතින් සම්මාන ගන්න වෙයි කියලා. මොකද අජිත් ධර්මකීර්ති මහත්මයා තමන්ගේ පෝස්ටුවකම කමෙන්ටුවක් විදිහට කළින් කියලා තිබුණා ඒ තැනැත්තා අතින් සම්මාන දීම සිදු වෙන්නේ නැති බව. අජිත් මහත්මයා මේ උත්සවයේ ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ කෙනෙකු හැටියටයි  මා හඳුනාගෙන හිටියේ. ඔහු එවැනි දෙයක් කියා තිබියදීත් මෙවැනි දෙයක් සිදු වුන නිසා මගේ හිතට ලොකු කනගාටුවක්, කළකිරීමක් දැනුණ බවනම් නොකියා බැහැ. ඒ 'අනවශ්‍ය ලෙස වර්ණනා වූ' පුද්ගලයා ඇරෙන්න එතැන සිටි අනෙක් අමුත්තන් සියලු දෙනා මගේ ගෞරවය දිනූවන්. ඒ වාගේ විශ්වාසය කඩ වන සිදුවීම් මීළඟ නෙළුම් යායේදී සිදු නොවනු ඇතැයි මම හිතනවා.

නෙළුම් යායටත්, සිංහල බ්ලොග් කලාවටත්, ආදරණීය බ්ලොග් සහෘදයන් සියලු දෙනාටමත් ජයෙන් ජයම වේවා!