මේ තමයි හතර වෙනි ගණිත විනෝදය ගැටළුවේදී නිවැරදි පිළිතුර මුළින්ම ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරපු රූ සොයුරිය වෙනුවෙන් පිරිනැමෙන තෑග්ග.
රූ, නිතරම ලස්සන වටින සටහන් ලියැවෙන ඔයාගේ බ්ලොග් එකේ 'හායි, මම රෝසී' කියන හදවත පතුලටම කතා කරන ලිපිය මම ගොඩාක් ආසාවෙන් කියෙව්වා. ඒ වටිනා ලිපියට ගොඩාක් ස්තූතියි. ඒත් කමෙන්ට් එකක්නම් දාන්න බැරි උනා, ඒ ගැන සමා වෙන්න. ඒ සටහනේ කියවුණු, ඒ හදවතින් තරුණ කාන්තාව ගායනා කරපු ගීතයේ පරිවර්තනයයි ඔයාට මම තෑග්ග විදිහට පිරිනමන්නේ. ජයග්‍රහණය වෙනුවෙන් මගේ සුභ පැතුම් ආයෙමත්. :)
ඇතැමෙකුට ආදරය ගංගාවකි
මෘදු පරඬැල් ගිලගන්නා.
ඇතැමෙකුට ආදරය පිහි තලයකි
ආත්මයේ රුධිරය විසිරුවනා.
ඇතැමෙකුට ආදරය කුසගින්නකි
නොනැවතී වේදනා ගෙන දෙනා.
මා දකිනා ආදරයනම් සුවඳැති මලකි,
එහි බීජය ඔබය, ඔබ පමණමය සැමදා.
බිඳී යන්නට බියැති හදවතයි
රඟන්නට පා නොසොල්වන්නේ.
අවදි වන්නට බියැති සිහිනයයි
අවස්ථා මගහරින්නේ.
සිතක සොඳුරු බව නොදන්නායි,
පරිත්‍යාගය නොහඳුනන්නේ,
මියෙන්නට බියැති ආත්මයයි
ජීවතය විඳින සැටි නොදන්නේ.
රාත්‍රියේ හුදෙකලා බව රජයන මොහොතේ
මාවත බොහෝ දුරැති වන සඳ,
ආදරය හිමි වන්නේ
වාසනාවන්තයාටත් ශක්තිවන්තයාටත් පමණකැයි
ඔබට සිතෙනා විට,
සිහිපත් කරගන්න
ශිශිරයේ ඝනැති හිම තලා පතුලේ
සැඟවී ඇති බව
හිරුට පෙම් බැඳි බීජයක්
වසන්තයේදී රෝස මලක් වී හිනැහෙන.
