31. කවුද මේකේ තේරුම දන්නේ...?



සිය පා සතෝ තෝ පාගා මරයි හෙට
පිට ගැට කුදෝ එය කීවේ කවුද තට
කුස පණ නැති එකෙක් හඬ ගා කීය මට
දත සුදු මාමේ මා අරගන් ගහ උඩට

මේ අපේ පැරණි ජන කවියක්. මම මුළින්ම ඇහැව්වේ අවුරුදු කීපයකට කළින් රූපවාහිනියේ විකාශය වෙච්ච වැඩසටහනකදි. ඒ කවියේයි තේරුමේයි තියෙන අපූර්වත්වය නිසාම මට ඒක අහපු හැටියෙම මතක හිටියා. තේරුම මමම කියනවාට වඩා හොඳයි ඔයාලට තේරුම හිතන්න අවස්ථාවක් දෙන එක. කියන්න බලන්න දන්න කට්ටිය එහෙමනම්. 


2013-01-05

කවියේ තේරුම:

එකෝමත් එක කාලෙක දවසක්දා හැකරැල්ලෙක් ගමනක් යන්න ගියාලු. ගහක් උඩ ඉඳං එයා දිහා බලං හිටපු කුදු ගැහිච්ච වයසක වඳුරෙක් කිව්වලු 'සිය පා සතෝ තෝ පාගා මරයි හෙට' කියලා. සිය පා සතා කියන්නේ කකුල් ගොඩක් තියෙන සතා කියන එකටනේ. ඉතිං ඕක ඇහිලා හැකරැල්ලා උඩ බැලුවලු කවුද යකෝ මට මේ අනං මනං කියන්න එන්නේ කියලා. බැලින්නං නාකි වඳුරු මොටෙක්. ඉලන්දාරි හැකරැල්ලා කෝචොක් හිනාවකුත් දාලා ඇහැව්වලු 'පිට ගැට කුදෝ එය කීවේ කවුද තට' කියලා. පිට ගැට කුදා කිව්වේ කුදු ගැහිච්ච වඳුරට. ඉතිං මේ මෝඩ හැකරැල්ලාගේ ආඩම්බරකමට තරහා නොගත්ත වඳුරා කිව්වලු 'කුස පණ නැති එකෙක් හඬ ගා කීය මට' කියලා. ඒ කිව්වෙ මොකද්ද, හෙට රජ්ජුරුවො මඟුල් ඇතා පිටේ නැගලා වීදි සංචාරය කරනවා කියලා අඬ බෙරයක් නිකුත් වෙලා. කුස පණ නැති එකෙක් කිව්වෙ අඬ බෙරේට. ඉතිං අර මඟුල් ඇතාට පෑගිලා හැකරැල්ලා මැරෙන්න පුළුවන් කියන එකයි අර මුල්ම පදෙන් කියවුනේ. ඉතිං ඕක ඇහුවා විතරයි හැකරැල්ලට දෙලෝ රත් උනාලු. රත් වෙලා වඳුරාට කිව්වලු අනේ මාවත් විගහට ගහ උඩට අරගන්න කියලා. නිකං නෙවෙයි වැඳ වැටිලා, යාප්පු වෙලා කිව්වේ 'දත සුදු මාමෙ මා අරගන් ගහ උඩට' කියලා. කොහොමද පිට ගැට කුදා තමන්ගෙ වාසියට දත සුදු මාමා වෙච්ච හැටි!