රුදු විස පිරි කටු අකුලේ සුවඳැති මල් පුබුදුවන්න
ගිනියම් වූ අඟුරු මතට වැහි පොද වී ඇද හැලෙන්න
හඳ නැති රෑ කළුවර මැද තරු එළියක් වී දිලෙන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි විසිතුරු මවන්න
චණ්ඩව මහ රළ නගනා සමුදුර මැද රුවල් ලන්න
ගිගුරුම් දෙන අසනි සරට මල්මද මුදු සිනහ දෙන්න
දුම් දමනා ගිනි කන්දක ලෝදිය කඳ නිවාලන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි මායම් මවන්න