ඇය පසු වූයේ මහත් නොඉවසිල්ලෙනි. සති ගණනාවකට පසු ඇගේ ප්‍රේමවන්තයා ඈ හමුවන්නට පැමිණෙන්නේ එදින ය. අවසන්වරට හමු වූ දින ඔහු වෙත ලබා දුන් සමරු පොතේ ද ඔහු යමක් සටහන් කරගෙන එනු ඇත. නොඉවසිල්ලෙන් ගෙවුණු හෝරා ගණනකට පසු අවසන ඒ මොහොත උදා විය. ඇගේ කාර්යාලය අසළ සුපුරුදු අවන්හළේදී ඔහුත් ඇයත් මුණ ගැසුණි. ආගිය තොරතුරු කතාබස් කරමින් ක්‍රීම් බනිස්, කිඹුලා බනිස්, මාළු බනිස් ආදිය කා ඔහු උණු උණු ප්ලේන්ටියක්ද, උණුසුම් පානයන්ට වැඩි කැමැත්තක් නැති ඇය සීතල කිරි පැකට්ටුවක්ද බී තවත් වේලා දොඩමින් කල් ගෙවූහ. අවසන සමුගන්නට මොහොත ආසන්න වූ කළ, එතෙක් ඔහුම දෝතට පත් කරනු ඇතැයි සිතමින් පුල පුලා බලා සිටි සමරු පොත පිළිබඳව ඇය විමසුවාය. එවෙලේ සිහිපත් වූ ලෙසින් ඔහු එය ඒ මොහොතේදී සිය ගමන් මල්ල තුළින් පිටතට ගත්තේය. අනතුරුව ඇගේ මිතුරියන් එහි ලියා ඇති ඕපාදූප පිළිබඳව ඔහු පිටුවෙන් පිටුවට පැන විචාරන්නට පටන්ගත්තේය. පාසැල් වියේ කෙළි කවටකම් ගැන සොඳුරු මතක මිතුරියන්ගේ අකුරින් සටහන් වූ සමරු පොතේ ඔහුගෙන් සැඟවිය යුතු කිසිවක් තිබුණේ නැත. (තිබුණානම් එය ඔහු අතට ඈ දෙන්නේද නැත.) ඔහුගේ පැනයන්ට රතු වූ මුහුණින්, විටෙක විරිත්තමින්, විටෙක මිහිරි මතකයන්ගෙන් දෑස් බොඳ කරගනිමින් ඇය පිළිතුරු ලබා දුන්නාය. සියල්ල අවසන ඔහු පොත ඈ අතට ලබා දුන්නේය. "ඉතින් කෝ දැන් අයියා ලියපු එක?" ඇය එය අතට ගනිමින් විමසුවාය.
"මං මුකුත් ලිව්වෙ නෑ..." ඔහුගේ පිළිතුර විය.
"ඈ?"
"ඇයි?"
"මෙච්චර දවස් මේක තියං ඉඳලා මුකුත්ම ලිව්වෙ නෑ?"
"මං ඕවායේ ලියන්න දන්නෙ නෑ අනේ..."
ඇගේ මුහුණ හොඳ නැත. වැහිබර වූ අහසක් මෙනි. "ඇයි ඉතිං මං මේක දෙද්දි කිව්වෙ නැත්තේ... දන්නෙ නැත්තං මොනවාම හරි ලියන්න තිබුණානේ හිතලා... මං කොච්චර ආසාවෙන්ද බලං හිටියේ ලියපු එක කියවන්න... එක්කො දෙනකොටම කියන්න ඕනෙ බැහැයි කියලා... එහෙනං මං නොදී ඉන්නවනේ... එතකොට මට මෙච්චර ආසාවෙන් බලං ඉන්න වෙන්නෙ නෑනේ..." ඇය කියාගෙන ගියාය.
"එහෙම වුණානං මං කොහොමද ඔයාගෙ යාළුවෝ ඔය ලියලා තියෙන ඒවා කියවන්නේ..." ඔහුට ගණනක් නැත. ඇගේ නෝක්කාඩු ගැන, ඇගේ බලාපොරොත්තු කඩ වූ සිත ගැන, ඇගේ තැලුණු රිදුණු හදවත ගැන ඔහුට ගණන නැත. ඔහු සිනාසේ.
"මගේ හොර අල්ලන්න ඕවා කියවන්න ඕනෙ නෑ... අල්ලගන්න හොරයක් මගෙ ඇත්තෙත් නෑ..."
"ඕක කියෙව්වෙ නැත්තං ඉතිං මං හරියටම දන්නෙ නෑනේ ඒ ගැන..."
"මාව විශ්වාස නෑ එතකොට?"
"මොකද නැත්තෙ... ඕක කියෙව්වාම ඒ විශ්වාසේ තව වැඩි වුණා..."
"මං යනවා යන්න!" ඇය තරහින් නැගිට සමරු පොතද බෑගයේ ඔබාගෙන ආපසු නොබලා ම යන්නට ගියා ය. ඇගේ බස් රථය පැමිණෙන තුරු ඔහුද පාරෙන් අනික්පස සිය යතුරුපැදිය අසළට වී සිටගෙන සිටියද ඈ නිකමටවත් ඔහු දෙස බැලුවේ නැත. මෙවන් සුළු දෙයකට එපමණ තරහා වී සිටිය යුතු නැති බව ඈ දැන සිටියද ඇගේ සිත් තැවුල ගණනකතවත් නොගෙන ඔහු සිනාසෙමින් සිටි අන්දම ඈ වඩාත් කෝප ගැන්වීය. එබැවින් ඈ දිගටම එලෙසින්ම සිටියාය. ඈ යාමට නියමිත බස් රථය බස් නැවතුම් පොළට ආසන්න වන මොහොතේදී පමණක් ඈ යාන්තමට ඔහු දෙස බැලූ අතර ඔහු සුපුරුදු සිනහවෙන් යුතුව ම සිය සුරත ඔසවා ඇයට අත වැනුවේය. ඒ මොහොතේදීම බස් රථය ඔවුන් දෙදෙනාගේ දර්ශන පථය ආවරනය කළෙන් තමාද අත වැනිය යුතුද නැත්දැයි සිතා වෙහෙසෙන්නට ඇයට ඉඩක් නොවීය. කෙසේ හෝ සෙනග අතරින් රිංගා ඔහු සිටි දෙසට මුහුණ ලා සිටගත් මොහොතේදී ඔහුත්, ඔහුගේ යතුරුපැදියත් තව දුරටත් එහි පෙනෙන්නට නොමැති බව ඇය දුටුවාය. ඔහුද ඈ හා උරණ වූවාදැයි හැඟීමක් පළමුවරට ඇගේ සිතෙහි ඇති විය.
නිවසට ගොස් එදින සියලු කටයුතු නිමා කර නිදන්නට ආ මොහොතේදී ඇය සිය ගමන් මල්ල තුළින් සමරු පොත පිටතට ගත්තාය. බොහෝ දිනකින් එහි ඇති සොඳුරු මතක තුළ කිමිදෙන්නට ඉඩක් නොලද්දෙන් ඇය පිටු එකින් එක පෙරළමින් තනිවම සිනාසෙන්නට වූවාය. බොහෝ සටහන් ලියැවී තිබුණේ තනි පිටුවකය, නැතහොත් දෙකක ය. නමුදු ඇගේ සමීපතම මිතුරියන් හත් දෙනා ම පිටු දහය දොළහ බැගින් අයිති කරගෙන තිබුණි. ඒ සියල්ල යළි මතකයට කැඳවා ගනිමින් ඇය අවසන් පිටුව දක්වාම සමරු පොතේ පිටු පෙරළාගෙන ගියාය. පෙරදී එහි නොවූ යමක් එහි අවසන් පිටුවේ සටහන්ව තිබුණි.
එය ඇගේ අති සුන්දර ආලේඛ්‍ය සිතුවමකි. ජීවමානව එතරම් කිව යුතු සුන්දරත්වයක් නොමැති ඇයගේ සුන්දර සිතුවමකි...
එයට යටින් සටහන් කොට තිබුණේ 'මගේ' යන හිමිකාරීත්වයද එක් කරමින්, ඔහුම පමණක් ඈ අමතනා ඒ සොඳුරු ඇමතුමයි...
ඇගේ දෑසින් සට සට ගා කඳුළු කඩා හැලෙන්නට විය. කිසිවක් නොලියූ බව පැවසූ ඇගේ සමරු පොතේ ඔහු සිය සිතැඟි සියල්ල කැටි කොට එම සිතුවම ඇඳ තිබුණි... ඇය නොපමාව සිය ජංගම දුරකතනය අතට ගත්තාය...
***
ආ, දැං බලං හිටියේ කෝල් කරපු ඒවත් අහගන්නද? ඒවා ඕන නෑ ඔයැයිලාට. ඒ ඇවිල්ලා සිත්තමීගෙයි, සිත්තරාගෙයි ප්‍රේම පුරාණයේ පුංචි කතාවක්. හද වෙණ සත්සර ගැන නොකියා මේවා කියන්නේ මොකටදැයි අහලා බණිනවා නෙවෙයි ඔන්න. අද ඇවිල්ලා සිත්තරාගේ උපන් දිනේ. හෙට ඇවිල්ලා අපි දෙන්නාගේ විවාහ සංවත්සරේ. ඉතිං අපි දෙන්නාට සුබ පතන්ඩලා. :D
රිදුම් දෙන රුදු තියුණු කටු තුඩු රළු ඉපල් රැල් සහසකි
සුවඳ විහිදන සිනා පුබුදන සුමුදු මල් දස දහසකි
විටෙක සහසම පරයමින් දස දහස අහසට නැගි සැටි
සිතා ගන්නට තවම බැරි මේ මහරු අසිරිය අරුමැති
HAPPY NAUGHTY FORTY TO MY LOVING HUSBAND!!!