318. නමක් නැති කතාවක්...

කොහොම ලියවෙයිද කියලා තවම දන්නේ නැති, නමක් ගමක් නැති කතාවක සංස්කරණය නොකළ පළමු පරිච්ඡේදය. 😊😊😊



මේක තමයි වෙලාව... ගංගාගේ සිත් කොණක් ඇවිලෙන්නට විය. 

ඈ පසෙකින් සිමෙන්ති බංකුව මත හිඳ සිටිනා සපිරිවරින් ඈ දකින්නට එදින පැමිණි යෝජිත මනාළයා වූ ධනංජය විසින් ඈ හමුවේ දිග හැරි මහා දිග කතාන්දරයට සවන් දීමෙන් අනතුරුව ඇයට හැඟුනේ එලෙසිනි. මේක තමයි වෙලාව...

ඇයට විවාහ වන්නට කිසිදු වුවමනාවක් හෝ අදහසක් හෝ සිත් අහළකවත් නොවීය. විසිහතර හැවිරිදි යුවතියකට විවාහ වන්නට පෙර කරන්නට තවත් බොහෝ දෑ ඇති බව ඇගේ නිගමනය විය. එම ප්‍රඥාවන්ත නිගමනයට එළැඹෙන්නට කලෙකට පෙර ඈ පාසල් වියේදී එක් කඩවසම් ඉලන්දාරියෙකුට සිතින් පෙම් කළ බව සැබෑය. එම පෙම් කුසුම ඇගේ සිත තුළම ඉපිද, විකසිතව අවසන නිහඬව මිලිනව ගිලිහී වැටී යාමෙන් අනතුරුව තවත් ඒක පාර්ශවීය ප්‍රේමයන් ගණනාවක් වරින් වර ඇගේ යොවුන් සිත කොණිති ගසන්නට සමත් වූ බවද සැබෑය. 

අවසන ඈ සිය පළමු ප්‍රේමවන්තයා දැන හඳුනාගත්තේ සරසවි භූමියේදී ය. සිය කැමැත්ත කලා විෂයයන් කෙරෙහි වුවද, පියාණන්ගේ හා සුළු මවුන්ගේ අනුබලය මත උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් හැදෑරූ ගංගා, යාන්තමින් සබරගමු සරසවියේ කෘෂි විද්‍යා පීඨයට පිවිසුම් ලබන්නට සමත් වූවාය.  ඒක පාර්ශවීය ප්‍රේම කතාන්දර ගණනාවකට පසු ඈ පළමුවරට සැබෑ ප්‍රේමයකට මුළ පිරුවේ එහිදී හමු වූ සුනෙත් සමගය. ගංගාගේ ප්‍රියතම හින්දි නළුවාගේ දෑසට සමාන නෙත් යුවළක් ඔහු සතු විය. එනමුදු එය නිමා වූයේ එම නළුවා රඟපෑ සිනමාපටවල මෙන් සුඛාන්තයක් ලෙසින් නොව මහා ඛේදාන්තයක් ලෙසිනි. ඇය ඇගේ කුළුඳුල් ප්‍රේමයට පමණක් නොව සිය සරසවි දිවියට ද සමු දී ගෙදර පැමිණියාය. ඇගේ අත ගෙන ඇවිද ගිය මං මාවත් ඔස්සේ ම ඔහු තවත් එකියකගේ අත ගෙන ඇවිද යන අන්දම දකින්නට නොකැමැති වූ ඇයට නැවත එහි පා තබන්නට සිත එකඟ කරගන්නට නොහැකි විය.

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. ගංගා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. එතෙක් කල් ඇගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව ගංගා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. ඇගේ නිහඬ බව හේතුවෙන්දෝ ධනංජය ඈ දෙස බැලුවේය. "ඒක අපි දෙන්නාටම ගැලපෙන විසඳුමක්. මොකද කියන්නේ? කැමතිද?" පිළිතුරක් ගලපාගන්නට පෙර ගංගාගේ සිත නැවතත් අතීතය බලා දිව ගියේය.

මොකද කියන්නේ... කැමතිද... එම වදන් පෙළ ඉන් පෙර ද අයෙකු ඇගෙන් විමසා ඇත. 

විරහ වේදනාවෙන් තැවෙමින් නිවසේ මුළුගැන්වී හූල්ලමින් සිටි ඈ කිසිවෙකුට හෝ විවාහ කර දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඇගේ පියා දැන සිටියේ නැත. එම හේතුවෙන් ඇරැඹි මංගල යෝජනා සමය අතරතුර මනාළයින් සය දෙනෙක් ඈ දකින්නට පැමිණියහ. ඉන් දෙදෙනෙකු පිළිබඳව සිය අප්‍රසාදය පළ කිරීමෙන් ද, දෑවැදි ප්‍රමාණවත් නොවූ දෙදෙනෙකුගේ හා හේතුවක් ඉදිරිපත් නොකළ තවෙකෙකුගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වීමෙන් ද අනතුරුව අවසන එක් යෝජනාවක් දෙපාර්ශවයේම කැමැත්තෙන් සම්මත විය. එනමුදු විවාහ මංගල්‍යයට දින පවා නියම ව තිබියදී එකී මනාළයාගේ දුරාචාරී හැසිරීම් පිළිබඳව කන වැකුණෙන් ගංගාගේ පියා එසැණින් සියලු ලකලැහැස්තිවීම් අහෝසි කර දැමුවේය. ගංගා නැවත අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන්නට සිත එකඟ කරගත්තේ ඉන් පසුව ය. මඟුල්තුලා සෙවීමෙන් ඈ තරමටම හෙම්බත්ව සිටි පියාගෙන් මෙවර ඈ කලාව කෙරෙහි යොමු වීම පිළිබඳව විරෝධයක් එල්ල නොවීය. ඉස්කෝලෙක උගන්නන්න හරි යන්න බැරියෑ, ඔහු ඒ පිළිබඳව ගංගාගේ සුළුමවුන් හා පැවසුවේ එලෙසිනි.

රුවන්පුර කලායතනය ඇගේ සියලු බාධක බැමි සුනුවිසුණු කරලන්නට ඇයට මග පෑදූ තෝතැන්න විය. තෙලිතුඩක තැවරුණු නෙක පැහැති වර්ණ සුදු පැහැති කැන්වසය මත තැවරී මතු කරන රටාවන් වෙත බැඳුනු ඇගේ බාල වියේ අමතකව ගිය ප්‍රේමයක් එහිදී දළු ලා, ලියලා යළි වැඩෙන්නට විය. ජීවිතයේ එතෙක් කිසිදා ලබා නොතිබූ තරම් ඇගයීම්, ප්‍රශංසා ඈ වෙතත්, ඇගේ සිතුවම් වෙතත් ගලා එන්නට විය. ඇගේ සිත පුරා නිදහසත් ප්‍රමෝදයත් රජයමින් තිබිණ. අවසන තමා, තමාව සොයාගෙන ඇති බව ඇය වටහාගත්තාය. නව ශිෂ්‍ය කණ්ඩායමේ පළමු සිතුවම් දැක්ම දා එම කලා ලතාවේ සුපිපි කුසුමන් ඉහළම මිළකට අලෙවි විය. අලෙවි නොකරන බවට සටහන් කොට ප්‍රදර්ශනයට පමණක් තබා තිබූ ඇගේ එක් සිතුවමක් මිළදී ගන්නට ම වුවමනා වූ එක් මැණික් ව්‍යාපාරිකයෙක් එයට ඉහළම ලංසුවක් තැබීය. ඇගේ නොසැලෙන විරෝධය හමුවේ අවසන සිතුවම සඳහා ඇයට අදහන්නට නොහැකි තරම් ඉහළ මිළක් යෝජනා කළ ඔහු ද එදින අසා සිටියේ එම වදන් පෙළ ය. මොකද කියන්නේ? කැමතිද?

ඒ රයන් වනිගසූරිය ය. සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාර ආයතනයක අලෙවි කළමනාකාරවරයෙකු වූ ඔහු රුවන්පුර කලායතනයේ දිගුකාලීන හිතවතෙකු මෙන් ම උද්‍යෝගිමත් පාරිභෝගිකයෙකු ද විය. විදේශිකයෙකු මෙන් පැහැපත් පෙනුමකින් යුතු වූ ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය ගංගාගේ හදවතෙහි අලුත් තානමක් සුසර කරන්නට සමත් වුවද ඇය සිය හැඟුමන් රහසක් ව ම තබාගත්තාය. ඔහු වෙතින් තමා වෙත යොමු වන සුවිශේෂී අවධානයත්, සැලකුමත් ඇගේ නිරීක්ෂණයෙන් බැහැර නොවූවද එය දිගු දුර සම්බන්ධයක් කරා ගෙන යන්නට ගංගා බිය වූවාය. ඔහු අන්‍යාගමිකයෙකි. ඔහුගේ මව විදෙස් කාන්තාවකි. අවාහ විවාහ කටයුතු සම්බන්ධයෙන් එවන් කාරණා පිළිබඳව බරපතලව සලකන සිය පියාගෙන් එවන් සබඳතාවයකට කිසිසේත් අනුමැතියක් නොලැබෙන බව ඇය දැන සිටියාය. එබැවින් ඇය 'මිස්ටර් රයන්' ආමන්ත්‍රණය වෙනස් කරන්නට ලද අවස්ථා සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළාය.

කලායතනයේ ඊළඟ සිතුවම් දැක්ම සඳහා ගංගා සහභාගි වූයේ සිසුවියක ලෙස නොව එම කලා කවයේ උසස් ඩිප්ලෝමාධාරී වෘත්තිමය සාමාජිකාවක ලෙසිනි. එදින ඇය සිය පියාණන්ට හා සුළුමවුන්ට කලායතනයේ ප්‍රධානීන් මෙන් ම රයන් මහතා ද හඳුන්වා දුන්නාය. සිතුවම් දැක්ම නිම වනතුරු පියා කිසිවක් නොපවසා නිහඬව සිටියද යළි නිවස බලා ගිය සැණින් මහා කලබගෑනිය ඇරැඹිනි. රයන් මහතා ගංගා පිළිබඳව දක්වන සුවිශේෂී ඇඟෑලුම්කම පියාගේ අප්‍රසාදයට හේතු වී ඇත. ඔහු පිළිබඳ තම යටි සිත කෙසේ වුවද පියා සැක පහළ කරනා අන්දමේ කිසිවක් ඔවුන් අතර නොමැති බව ගංගා පවසා සිටියේ මහත් විශ්වාසයෙනි. නමුත් පියාට එය ප්‍රමාණවත් නොවීය. ගංගාගේ කලායතන ගමනට වැටකඩුළු බැඳි ඔහු නැවතත් ඇයට මනාළයින් සොයන්නට පටන්ගත්තේය. එතෙක් කලක් ඇහිරී, සිර වී ගෙවූ ජීවිතයට සිතුවම් කලාවෙන් ලැබුණු නිදහසටත්, ඈ හා ඇගේ නිර්මාණ වෙත ලැබුණු ඇගයුම් මතින් ගොඩනැගුණු ආත්ම විශ්වාසයටත් ලොබ බැඳ සිටි ගංගා ඉන් පෙර කිසි කලෙකත් නොවූ ලෙස හිතුවක්කාර ගති පැවතුම් පළ කරන්නට පටන්ගත්තාය; පියා හා සුළුමවුන් සමග නිරන්තර වාදයන්හි පැටලුනාය; ඇයට වඩා දස වසරකින් හා දොළොස් වසරකින් බාල සොහොයුරා හා සොයුරිය සමග ද අඬදබර ඇති කරගත්තාය. ගංගාට එම නිවහනෙන් පිටමං වන්නට වුවමනා විය; ඉන් මිදී සිය නිදහස සොයා යන්නට, තමාගේම කලාගාරයක් අරඹන්නට වුවමනා විය. නමුත් පියාගෙන් ඇගේ එම කැමැත්තට කිසිදු ඉඩක් නොලැබුණෙන් මනාළයින් සෙවීම යළිත් වරක් ඔහුට ම ඇති වන තුරු ඇය සුපුරුදු පරිදි සිය විරෝධය පළ කරමින්, ඇගේ විරෝධයට පෙර අනෙක් පාර්ශවයෙන්ම ප්‍රතික්ෂේප වීම් පළ වූ විට සතුටුවෙමින් කාලය ගෙවී යන්නට ඉඩ හැරියාය.

සියල්ල උඩුයටිකුරු වූයේ එලෙස පැමිණි පස් වෙනි - ආරම්භයේ පටන් ම ගිණියහොත් එකොළොස්වැනි - මනාළයාගේ ආගමනයද නිශ්ප්‍රභා වූ මොහොතේදී ය. ගංගාගේ පියා රෝගාතුර විය. දින ගණනක් රෝහල්ගතව හිඳ දුර්වලව ගිය ගතින්ද සිතින්ද යළි නිවසට පැමිණි පියා දැකීමෙන් සිය හිතුවක්කාරකම් මඳකට පාලනය කරගත් ගංගා ඔහුට උවටැන් කරන්නට සුළු මවුන්ට සහය වූවාය. යළි තරමක ප්‍රාණවත් බවක් ලැබීමෙන් පසු ඔහු යලිත් ගංගා වෙනුවෙන් මනාළයන් සොයන්නට පටන්ගත්තේය. මෙවර පුවත්පත් දැන්වීම්වලින් නොසෑහී ඔහු කපු මහතෙකුද ගෙන්වාගත්තේය. පියා ගිලන් වන්නට තමා ද හේතුවක් වීදැයි සිතින් තැවෙමින් උන් ගංගා නැවත මනාළයන් ප්‍රතික්ෂේප කරන්නට සිත දිරි ගත නුහුණුව තම සිහිනය අත් හැර දමා නන්නාඳුනන නිවසක බිරිඳක, මවක ලෙස අත්තටු හකුළාගෙන සිය ඉතිරි ජීවිත කාලය ම ගෙවන්නට සිදුවනු ඇත්දැයි විස්සෝප වූවාය. එබැවින් ඇය වෙනත් ක්‍රමවේදයක් වෙත යොමු වූවාය. තමාට ප්‍රේමවන්තයෙකු සිටිනා බවටත්, තමාට ඔහු අමතක කළ නොහැකි බවටත් මුසා බස් දොඩමින්, පැමිණෙන මනාළයින් සමග ඇයට තනිව කතාබස් කරන්නට ඉඩ ලැබුණු ඇසිල්ලෙහි එම මංගල යෝජනාව ප්‍රතික්ෂේප කරනා ලෙසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට ගංගා පෙළැඹුනාය. දොළොස්වැනියාද, දහතුන් වැනියාද යෝජනාවට අකැමැති බව පවසා එවූයේ ඇගේ එබස් නිසාද, ඒ හැරෙන්නට තවත් හේතූන් ඇති නිසාදැයි ඈ දන්නේ නැත. ඇයට එය අදාළ ද නැත. මේ වනතුරු සියල්ල එලෙසින් විසඳුනද, ප්‍රේමවන්තයෙකු පිළිබඳ ඇගේ ගජබින්නය හෙළි කළ කල මෙම දහ හතරවැනියා ඉදිරිපත් කළ අරුම පුදුම යෝජනාව හමුවේ දැන් ඈ පත්ව සිටින්නේ මහත් උභතෝකෝටිකයකට ය.

ඇයට වුවමනා නිදහස ලබා දෙන්නට ඔහු සූදානම්‍ ය. කැමති කෙනෙකුන් කැමති පරිදි ඇසුරු කරන්නටත්, ඈ කැමති ඕනෑම දෙයක් කරගන්නටත් ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. අන් ලෙසකින් කිවහොත් තනිකඩ යුවතියක සේ දිවි ගෙවන්නට ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. ඒ වෙනුවෙන් ඈ සිදු කළ යුතු වන්නේ ඔහුට ද එම නිදහස එලෙසින්ම ලබා දීමය. ඒ හැරෙන්නට ඔහුගේ දෙමාපියන් හා ඥාතීන් හමුවේ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටිමින් ඔහු සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන වගකීම් සහගත පුද්ගලයෙකු බව ඔවුනට ඒත්තු ගැන්වීමය. ඔහුගේ පියා අධිපතිත්වය දරන ඇඟැලුම් ව්‍යාපාරය ඔහු නමට පවරන තුරු එම රඟදැක්වීම එලෙසින්ම පවත්වාගැනීමය. එයින් පසුව දික්කසාදයට එකඟ වීමය. වෙනෙකක් තබා ඇගේ පියාගෙන් ලැබෙනා දෑවැද්ද ද ඇයට රිසි සේ ප්‍රයෝජනයට ගන්නට ඉඩ හරින්නට ඔහු එකඟ ය. 

"මට ඔයාගෙ සල්ලි ඕනෙ නැහැ. ඒත් මට, මට ලැබෙන්න තියෙන දේ ලැබෙන්න එපැයි. තාත්තා ලෑස්ති වෙන්නේ බිස්නස් එක ලොකු තාත්තාගේ පුතාට දෙන්න. ඒ මෝඩයාට හරියට එකවුන්ට් එකක්වත් බැලන්ස් කරගන්න බැහැ. ඔයාට වාගෙම මටත් කසාද බඳින්න කිසිම ඕනකමක් නැහැ. ඒත් මං කිව්වෙ, තාත්තා හිතං ඉන්නේ මං කිසිම වගකීමක් දරන්න බැරි මිනිහෙක් කියලා. බිස්නස් එක මගේ අතට ගන්නනං මට කසාද බැඳලා සෙට්ල් වෙලා පෙන්නන්න වෙනවා තාත්තාට. ඔයාට තේරෙනවද ඒක මොන වගේ විකාරයක්ද කියලා? ඒක මට ලැබෙන්න ඕන දේ නේ. ඒවුණාට ඒක ගන්න මට මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න වෙලා තියෙන්නේ දැන්. ඔයාට තාත්තාගෙන් ලැබෙන සල්ලියි, ඔයා කියපු ඔය ආර්ට් වැඩවලින් හම්බවෙන සල්ලියි මදිනං මං මාසෙට තව ගාණකුත් දෙන්නම් ඕනෙනං. මේක මට වගේම ඔයාටත් ගොඩ යන්න පුළුවන් අවස්ථාවක්," ධනංජය නැවතත් කියාගෙන ගියේය. 

මෙලෙසින් දොඩවනා පිරිමියෙකු ගංගා මින් පෙර දැක නැත. රයන්ගේ එක් සිනහවකින්, එක් හිස වැනුමකින් හැඟවෙනා දෑ මොහුගේ වදන් සියයකින් වුවද දැනවිය හැකි වනු ඇත්දැයි ගංගා කල්පනා කළාය.

ඔහු තවත් බොහෝ දෑ හෙළි කළේය. ඔහුගේ සෙල්ලක්කාර නිදහස් ජීවිතය තුළ ඔහුගේ පෞද්ගලිකත්වයට අත පොවන්නට ඇයට කිසිසේත් ඉඩක් ඉතිරි නොවනු ඇත. එබැවින් විවාපත්ව කොළඹ ගිය පසු ද ඈ කැමතිනම් ඔහුගේ නිවසින් බැහැරව, හදිසියකදී පැමිණිය හැකි තරම් ආසන්නයේ නවාතැනක ජීවත් විය හැකි බවද ඔහු පැවසුවේය. 

"ඔයාට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්න. මට මගේ පුරුදු ජීවිතේ ගෙවන්න ඉඩ දෙන්න. අම්මයි තාත්තයි නෑදෑයෝ ඉස්සරහදියි විතරක් මගේ වයිෆ් වගේ ඉන්න. අම්මා කොළඹ එන්නෙ නැහැ. තාත්තාත් බිස්නස් වැඩවලට ආවොතින් මිසක් මගේ ගෙදර ඇවිල්ලාම නැහැ. ඒ හින්දා ඔයා වෙනම හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ළඟපාතක නතරවුණාම ඉතින් ඔයාගේ අප්පච්චිලා එන වෙලාවක එහෙ ඇවිත් ඉන්න බැරියෑ. බිස්නස් එක මගෙ අතට ලැබෙනකල් විතරයි මේ ඔක්කොම. ඊට පස්සෙ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස්."

තම දෙමාපියන්ද, ඔහුගේ දෙමාපියන්ද මුළා කරමින් මෙවැන්නක් සිදු කිරීමෙන් අත් විය හැකි ඉරණම කෙබඳු වනු ඇත්දැයි ගංගා මොහොතක් කල්පනා කරන්නට උත්සාහ කළාය. එය බොහෝවිට වසර දෙක තුනක ගනුදෙනුවක් විය හැක. ඇතැම්විට හතර පස් වසරක ගනුදෙනුවක් විය හැක. කෙසේ හෝ දිනෙක එය දික්කසාදයකින් අවසන් වනු ඇත. තමා ලෝකය හමුවේ දික්කසාද වූ ගැහැනියක ලෙස ඉතිරිවනු ඇත. "මෙහෙම දේකින් පස්සේ..." ගංගා දිගු සුසුමකට පසුව තම හඬ අවදි කළාය. "...පිරිමියෙකුට ලෝකෙට මූණ දෙන්න වෙනවාට වඩා ගෑනියෙකුට ලෝකෙට මූන දෙන්න වෙන විදිහ වෙනස්."

"ඒක මට තේරෙනවා. ඔයා අකමැතිනම් අවුලක් නෑ, මේ කතාව මෙතනින් නවත්තලා අපි ගෙට යමු."

නමුදු එයට කම් නැත. එවිට හෝ පියා ඇගේ ස්වාධීනත්වය අවුරන්නට තැත් කිරීමෙන් වැළකී සිටිනු ඇත. ඇයට තනිවම තම ගමන යා හැකි වැනු ඇත. නමුත් විසඳාගත යුතු තවත් ගැටළු ඇත. "මීට කළින් ආපු එක්කෙනෙක් එක්ක වෙඩින් එක ගන්න දිනත් දාගෙන තියෙද්දි, ඒ මනුස්සයාගේ ඔය වාගේ හැසිරීම් ගැන අප්පච්චිට ආරංචි වෙලා ඒ කසාදෙ එහෙමම නතර වුණා."

"මොන වාගේ හැසිරීම්ද?"

"ඒ මිනිහා බේබද්දෙක්ලු."

ධනංජය සිනහසුනේය. "ආ, ඔය ඉඳහිට ඩිංගක් බිව්වට මං බේබද්දෙක් නෙවෙයි."

"බේබදුකමට වඩා හපන් දෙයක් සල්ලාලකම කියන්නේ!"

"ක්ලබ් යන එකට, නිදහසේ කෙල්ලන්ව ආශ්‍රය කරන එකට ඒ වගේ කැත වචනයක් දාලා තියෙන්නේ මොකද කියන්න මං දන්නෙ නෑ. හරි, මං එහෙම බව ඔයා දන්නවනේ. කෙල්ලෙක්ගේ අකමැත්තෙන් මං එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට මගෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මං වෙන කෙල්ලෝ ආශ්‍රය කරන එක ගැන ඔයාගේ ප්‍රශ්නයක් නැත්තම් අප්පච්චිට දැනගන්න නොතියා ඉන්න එක මහ දෙයක් නෙවෙයි. මේ අපි කතා කරන්නේ කසාදයක් ගැන නෙවෙයි, ගනුදෙනුවක් ගැනනේ. ඔයාටත් මටත් වින්-වින් සිටුවේෂන් එකක් ලැබෙන ගනුදෙනුවක් ගැන. අපේ අම්මයි තාත්තයි මාව බලන්න දක්කගෙන ගිය අටවෙනි මනමාළි ඔයා. කළින් හත් දෙනාගෙන්ම මට මෙහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. මං හිතන්නේ ඔයාටත් ලැබිලා නැහැ. ආයෙ මෙහෙම කතාබහ කරලා බේරගන්න පුළුවන් ගනුදෙනුවක් ලේසියෙන් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? වැඩේ ඉවරවුණාම ඔයත් නිදහස්, මාත් නිදහස්. බිස්නස් එක මගේ අතේ. ඔයාට කැමති කෙනෙක් එක්ක ඔයාගෙ ගමන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව."

ගංගා නැවතත් සුසුමක් හෙලුවාය. මොහුගේ අරුම පුදුම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් ඇගේ ජීවිතය දැනට පවතිනවාට වඩා එතරම් වෙනසක් වීමට ඉඩක් නැත. මෙතෙක් කල් පැමිණි අනෙකුත් මනාළයින් මෙන් තවත් මනාළයින් ගණනාවක් ඈ බැහැ දකින්නට පැමිණෙනු ඇත. ඒ සියල්ලද පෙර පරිදි ම විකාර සහගත නාඩගමක් විලසින් කෙළවර වනු ඇත. පියා කෙදිනක එම නිශ්ඵල ප්‍රයත්නය අත හැර ඇයට ඇගේ ජීවිතය ඇයට රිසි සේ ගෙවන්නට ඉඩ දෙනු ඇත්දැයි ඇය දන්නේ නැත. එබැවින් ඇය ඊළඟ හුස්ම පොදින් පෙනහළු පුරවාගන්නා අතරේ සිය තීරණය අරගත්තාය. මේක තමයි වෙලාව... "හරි එහෙනං!"

"කැමතිද?"

"ඩීල්!"

ගනුදෙනුව එලෙසින් තහවුරු විය. 



- මතු සම්බන්ධයි -