310. චන්ද්‍ර ද්වාරය...

 




ඝනැති කළුවන් ඉමක් නොපෙනෙන
හුදෙකලා රෑ ගුවන් තලයේ
අනන්තය වෙත ඇරුණු දොරටුව
සඳ ය මුදු රැස් දහර විහිදූ

අනන්තයෙ සිට ගලා ආ ඒ
සුමුදු මුදු ආලෝක දහරා
බැලී තුරු පත් මතින් එබෙමින්
හිස් නොවූ හිස් ඇත්ද කියලා

තුරු හිසෙක බැඳි හේන් පැල මත
පියා හා තනි නොතනියට සිටි
සිහින සිත්තර හිස පුරාගත්
පුංචි කොළුවා දිටී සඳ දොර

"තාත්තේ අර බලන් සඳ දෙස
මහා කළු ඇතිරිල්ල මැද්දෙන්
දොරක් ඇරිලා ගලා එන්නේ
සුර ලොවේ රන් එළිය නොවෙදෝ"

"නිදාගං කොලු පැටියො නොදොඩා
හැමදාම පායනා හඳ ඔය
බලන් හාවත් ඇතිය කොහෙ හරි
සක් දෙවියො නොවැ උන්දැ ඇන්දේ"

වලා දොර පියනකට සැඟැවී
චන්ද්‍ර ද්වාරය සිනහ සඟවා
සිහින සිත්තරයක් මවා යස
එවී මඳ නල රොදක දවටා

ඒ සිහිල් මද නලෙන් නැළැවී
පුංචි කොළුවා වැටී නින්දට
සිහිනයෙන් සඳ දොරෙන් නික්මී
පියෑඹී හිනැහෙමින් ඈතට


පින්තූරය: freeimages.com වෙතිනි