301. දිනපොතක සටහනක්...


මේක වැඩකට නැති ලියමනක්. කියවන්න එපා.

මං මේක ලියන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න. කාටවත් කියවන්න නෙවෙයි.

කියන මගුලක් අහන්න බැරිනං ඕන එකක් කරගන්න එකයි ඇත්තේ! හැබැයි පස්සෙ මට බැණගෙන එහෙම එන්න එපා මේ මොන මගුලක්ද ලියලා තියෙන්නේ කියලා.

මගුලක්ම තමයි මේක. කිසිම වැඩකට නැති, මෙලෝ රහක් නැති මගුලක්.

මේ මළ මගුල මගේ ඇඟේ ගැහැව්වේ අපේ අම්මයි නැන්දායි එක්ක එකතු වෙලා. ඒක මහා කුමන්ත්‍රණයක්. මාව අමාරුවේ දාන්නම කරපු කුමන්ත්‍රණයක්. ඒ නැන්දාගෙ හොඳ...ම යාළුවෙකුගෙ හතුමුතු පරම්පරාවක එහා කෙළවරෙං හොයාගත්ත උගත්, බුද්ධිමත්, රූමත්, සුවච කීකරු, ගුණවත්, සැදැහැවත් මහෝපාසිකාවක්ලු. එහෙමයි නැන්දා මුළිංම අම්මත් එක්ක කියලා තිබුණේ. කෑමක් උයද්දි විතරක් නෙවෙයි තේකක් හැදුවත් අල්ලපු ගෙදරටත් එක්ක සුවඳ දැනෙනවලු. කනට ඇහෙන්න කතා කරන්නෙ නෑලු. හැබැයි මංනං අහලා තියෙන්නේ එහෙම කියාගෙන එන අය තමයිලු බැන්දැයිං පස්සේ අහළ ගං හතටම ඇහෙන්න සුවාමි පුරුසයාව අමතන්නෙ.

මට අර උන්නු විදිහටම ඉන්න දුන්නනං ඉවරයිනෙ. දෙයියනේ කියලා මගෙ පාඩුවෙ, නිවී සැනසිල්ලෙ, කනක් ඇහිල්ලේ හිටිය මං. අනේ අපොයි කියලා හීල්ලෙනවා මට ඇත්තමයි. වාසනාත් එක්ක අවුරුදු දොළහක් තිස්සේ තිබ්බ ඇයි හොඳයියට හෙණ ගැහුවැයින් පස්සේ මං මහසෝනා ගැහැව්වා වගේ හොල්මං වෙලා හිටිය කාලයක් තිබ්බ බව ඇත්ත. ඒ වුණාට ඉතිං ඊට කළිනුත් මට ඔහොම යකා ගහපු වෙලාවල් තිබ්බේ. මං ඒ වුණාට යසට හිටියේ. නෑ හරි ඉතිං, ඒ කළිං එව්වා ඔය වාසනා ව ගිලපු මහසෝනා තරං දරුණු වුණේ නෑ තමයි. එහෙමයි කියලා ඉතිං මේ මෝහිණීව ගෙනත් මගේ බෙල්ලේ එල්ලන එක හරි නෑ කියලා අම්මාට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනේ. කොටින්ම ඔය මගුල බලන්නවත් ගියේ මං කැමැත්තෙන් නෙවෙයි. අම්මාගෙන් බේරෙන්නම බැරි තැන. මාව බිල්ලට දෙන්නනෙ ඕනෙ අම්මටත්!

ඒකට මොකද අම්මාටත් ඉතිං දැං ඊට උඩිං වෙන කවුරුත් නෑ. කොටිංම අම්මාගේ එකම පුත්තර රත්නය වෙච්ච මේ මාවත් දැං අම්මාට ඕන නෑ. ඉනා බේත් දීලා, ඔව් අර කටට රසට උයනවයි කිව්ව ඒවට ඉනා බේත් දාලා අපේ අම්මව වශී කරගෙන. සුදු මැණිකේ! ඕන්න අපේ අම්මාට ඒ අම්මණ්ඩිව පේන හැටි! මේ මං ඉන්නවා, මෙච්චර කාලෙකට මට සුදු මහත්තයා කියලා තියෙනවද අපෙ අම්මා? නෑනෙ! නෑනෙ! මෝඩයා, බූරුවා, ගොං තඩියා - ඔන්න ඔහොම එව්වනං ඇහිලා තියෙනවා මට.

ඔය සුදු මැණිකෙය කියලා කියන එක්කෙනාට ඉන්නවා මහ නසරාණි අයියලා දෙන්නෙකුත්. හිට්ලරුයි නැපෝලියනුයි මැද්දෙ ක්ලියෝපැට්‍රාව තිබ්බා වගෙයි තුන් දෙනාව එකට තිබ්බාම. උන් දෙන්නා මට ඔරවං හිටපු හැටි විතරක් එදා! හරියට මං උංගෙ මේ නල්ලමලේ නංගි පොඩ්ඩව බලෙං උස්සං යන්ඩ ඇවිත් වගේ! වෙන නැතුවට හොඳයි!

රස්සාවට කරන්නෙ ඉස්කෝලෙක උගන්නන එකලුනෙ. ඒකත් මේ අහළ පහළ. එච්චර ඈතක ඉඳං මේ අම්මණ්ඩිට මෙහෙටම එන්ඩ ඕන වුණානේ රස්සාවට. මාවම හොයාගෙන ආපු උරචක්කරමාලයක්. අනේ දෙයියංගෙම පිහිටයි එයැයිගෙන් ඉගෙනගන්න ළමයින්ට. 'පූහ්' ගාල පිම්බොත් විසි වෙලා වැටෙන සයිස් එකෙන් ඉන්නෙ. කළු ලෑල්ලෙ අකුරු ලියන්නෙ පත්තරයක් උඩ හිටගෙන වෙන්ටැ.

මගෙ හිත් අමාරු ඉතිං මෙහෙම ලියනවා ඇරෙන්න මොකෝ කා එක්කවත් කියන්ඩ කියලද? බැරි වෙලාවත් අපෙ අම්මගෙ කනට ගියොත් හෙම  මාසෙකට සැරයක් හරි ගෙදර එන ගමනත් ඉවරයි. මොනවා කරන්නද ඉතිං. කරුමයක් තියෙනවනං ගෙවන්නම එපෑ.

ඉතිං ඒ කරුමෙ ගෙවන්න මං දැන් හිත හදාගෙන ඉන්නේ. තව මාස දෙකකින් අපේ කසාදෙ සිද්ද වෙන්නයි යන්නේ. ඔව් අර මගුල තමයි. ඒකටත් රටේ නැති විච්චූරණ කරන්ඩ ඕන වෙයිද දන්නෙ නෑ. මං දන්න එකෙක්ට මගුලට ලෑස්ති වෙන්න මාස ගාණක් තිස්සෙ නටපු සමයං දැකලාම මගුල එපා වුණා. මටනං කොහොමටත් එපා වෙලා තියෙන්නේ. අපෙ අම්මාටනේ ඕන වෙලා තියෙන්නේ. නැන්දම්මලා ලේලිලා ඔහෙ ඕන මගුලක් කරගත්තදෙන්.

*****

ඇතිද කියෙව්වා? ඔයා ගැන තමයි මේ ලිව්වේ, ඔව්! අඬනවද දැං හොටු පෙරාගෙන?  හොඳ වැඩේ! අඬපිය! තව අඬපිය! හිතං හිටියෙ මගෙ නෝට්බුක් එක හොරෙන් කියෙව්ව බව මට අහු නොවී තියෙයි කියලද?  මේ මං එක්ක ඒ හොර වැඩ ඔට්ටු නෑ නංගි, හරි? සුමානෙට දෙතුන් සැරයක් දවල්ට ඉස්කෝලේ ඉඳං ඇවිත් තනියෙං ඉන්න අපෙ අම්මාගෙ දුකසැප බලලා යන එක වෙනම කාරණාවක්. ඒකට බොහොම පින්. ඒවුණාට මගෙ  කාමරේ අස්කරන්නයි කියලා අම්මාට බොරු ගහලා ඇවිත් මගේ හොර අල්ලන්න මං තාම අවසර දීලා නෑ. ඒකට තව මාස දෙකක් ඉවසං ඉන්න වෙනවා, තේරුණාද? ගිය සෙනසුරාදා ඇවිත් කාමෙරේට අඩිය තිබ්බ ගමන් මට තේරුණා වැඩේ. මේක ලියලා තිබ්බේ ඔය හොරෙන් කියවන එකීට කියවන්නම තමයි!

දැන් ඉතින් අඬලා ඉවරනං ඔය නෝට්බුක් එක වහලා තිබ්බ තැනම තියලා ඊට පහළ ලාච්චුවේ තියෙන චොකලට් පෙට්ටිය අරං කන එකයි ඇත්තේ!

ආයෙ එහෙම මගේ බඩු ඇදලා තිබ්බොත් බලාගෙනයි!

අපෙ අම්මගේ සුදු මැණිකේ එහෙනම් පරිස්සමෙන් ඉන්න. මේ මාසේ අන්තිමේ ගෙදර ආවාම මං එහෙත් ඇවිත් යන්න එන්නම්. බුදු සරණයි!

ප/ලි: ආ, වාසනාද? ඒ අපේ දිහා හිටපු බලු පැටික්කි. අපෙ අම්මගෙන් අහගන්නකො එයා ගැන.

300. ඒ දිගු සුසුම් රැල්ලට පෙර...



ජීවිතයක මතක පොදි බැඳ
එක් දිගු සුසුම් රැල්ලක මුසු කොට
ගුවන් තලයට මුදාලන දිනෙක
ඒ සුසුම සිහිල් මඳ පවනක්ව
ඒ මතක සුසුදු මල් සුවඳක්ව
හමනු ඇත...
ඒ දිගු සුසුම් රැල්ලට පෙර
ලොවට නොරිදා
මතක ගොඩනැගූවන් වෙනුවෙන්.....
ලොවම සනසා
ආදරය බෙදූවන් වෙනුවෙන්.....