230. නොකල් නික්මන...


මා හට කියන්නට ඇති කතාව කියන්නට පෙර ආදරණීය රන්දිකා අක්කාගේ දයාබර මෑණියන්ගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

සිත මහත් බරකින් පීඩිතව තිබියදී තබනා සටහනකි.

ඔහු මාගේ සැමියාගේත්, ඔහුගේ නැගණියන්ගේත් බාල වියේ පාසැල් මිතුරෙකි. බෙහෙවින් මාගේ ගෞරවාදරය දිනූ අයෙකි. මුණගැසුණු ඕනෑම මොහොතකදී ඔහුගේ මුවේ වූයේ හදවතින්ම නැගි ප්‍රියමනාප කරුණාබර සිනහවකි. කුඩා දරුවන්ට සිහින ලෝකයක් මැවූ ඔහු ඉතා සාධාරණ ව්‍යාපාරිකයෙකි. අප පුතුගේ ඕනෑ එපාකම් බොහොමයක් පිරිමැහුණේ නිරන්තරයෙන් පිරිත් නද ඇසුණු ඔහුගේ ව්‍යාපාරික ආයතනයෙනි. දරුවෙකු වෙනුවෙන් යමක් මිළදීගන්නට ඇවැසි වීනම් අප නොවැරදීම සොයා ගියේ ඔහුව ය. අදටද අපගේ පුතු වතුර බොන්නේ ඔහු දිනෙක එහිදී අප බෑගය තුළට බලෙන්ම එබූ ඒ හුරුබුහුටි කෝප්පයෙනි. අප එහි ගිය දිනෙක ඔහු එහි වූයේනම් විශාල වට්ටමක් වරදින්නේ නැත. ඔහු එබඳු දානපතියෙකි. කරුණාබර හිතැති ව්‍යාපාර හිමියෙකි. උගත් විදු පියසට මහත් සේ ආදරය කළ, සැමගේම ආදරය දිනූවෙකි. ඔහු දිනෙන් දින දියුණුව කරා පා තබනා අයුරු දැක අපිද මහත් සේ සතුටු වුණෙමු. 

අද ඔහු යන්නට ගොසිනි. ඊයේ දිනයේ ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ මා, මාගේ මිත්තණියගේ අභාවයෙන් පසු අවමංගල්‍යයකදී මුල්වරට ඉකිගසා වැළපුනෙමි. ඒ ඔහු ගැන දුක්වන්නට ඉතිරි කර ඔහු දමා ගිය ඔහුගේ ආදරණීයතමයන් වෙනුවෙනි. නිදා සිටිනා පියා දෙස බලමින් මහ හඬින් වැලපෙනා මෑණියන් දැක හඬනා පස් මසැති රන්කැටි පුංචි පැටියා වෙනුවෙනි.

මේ මෙවැනි නික්මන් වැඩි වැඩියෙන් ඇසෙනා අඳුරු සමයෙකි. මේ මෙවන් ගමනක් නික්ම ගිය මා පෞද්ගලිකවම දන්නා හඳුනන දෙවැන්නා ය. හදවත බොහෝ බරය.

ගියේ ඇයිදැයි කොහි ගියේදැයි දන්නේ ඔහුම පමණෙකි. පවසන්නට ඉතිරිව ඇත්තේ මෙපමණය... ආදරණීය සොයුර, මතු අත්භවයන්හිදී මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා... අපගේ හිතවන්තයෙකුව සිටි මෙම භවයේදී ඔබ කළ සියලු හොඳ, යහගුණ ඔබ සමගම වේවා... අවසන අමාමහ නිවන් සුව ලබත්වා... එතෙක් සොයුර, ඔබට සුබ ගමන්!