86. ගමන...

මේ කතාව මම ලිව්වේ පොඩ්ඩි අක්කගෙ වළව්වෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් විදිහට. ඒ පෝස්ට් එක මොකද්ද කියලා මට මතක නෑ, මේ කතාව මම සේව් කරගෙන ඉඳලා අද ෆෝල්ඩර් අස්සෙ එහෙ මෙහෙ යද්දි හම්බ වුනා. අක්කගෙ පෝස්ට් එක මොකද්ද කියලා වෙලා තියෙන වෙලාවක වළව්වට ගොඩ වැදිලා හොයාගෙන ලින්ක් එක දාන්නම්. එතකල් මේ කතාව රස විඳින්නකෝ. :)



දවසක් අපි දෙන්නා දුරම දුර ගමනක් යන්න පිටත් උනා. කැලෑවක් මැද්දෙන් යන ලොකූ ගමනක්. අපි දෙන්නා හරි ආසාවෙන් අතුත් පටලගෙන හිනා වෙවී කැලෑවේ ලස්සන බල බල ගමන පිටත් උනා. බලන බලන පැත්තේ ලස්සන ලස්සන මල් පිපිච්ච ගහ කොළ. කුරුළු ගීත සද්දෙ කැලේ පුරාම. තැනින් තැන පුංචි දිය උල්පත්. ඒවායෙන් වතුර බොන්න ආපු හා පැටව්, මුව පැටව් වාගෙ ලස්සන සත්තු. ඕවා දිහා බල බල අපි කැලෑව මැද්දෙන් යන ගමන හරි සතුටෙන් යන්න ගත්තා. ටිකෙන් ටික ඔහොම ගියා. දැං කැලෑවේ මැද හරියට කිට්ටු නිසා ටිකක් අඳුරුයි. කැලෑවේ ලස්සන බලනවට වඩා අපේ ඇස් යොමු වුනේ අතු වල තැනින් තැන එල්ලිලා ඉන්න සර්පයො දිහාවට. මහා විසාල මකුළු දැල්, ලොකූම ලොකු මකුළුවොත් එක්ක. මං විතරක් නෙවෙයි එයත් ටිකක් බය වෙලා හිටියේ. ඒ අස්සේ කූඩැල්ලන්ගෙන් බේරෙන්නත් ඕනේ. දැං අපිට කුරුළු හඬ අහන්න වෙලාවක් නෑ, රැහැයියන්ගෙ සද්දෙන් කන් පිරිලා ගිහිල්ලා. මල් දිහා බලන්න වෙලාවක් නෑ, හැම තැනම කටු පඳුරු. ඒත් අපි අත් අල්ලගෙන ඉස්සරහටම ගියා.

දැන් බඩත්ගිනියි. කැලෑවෙන් කෑම හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතුවට දැන් බයයි, සමහර ගෙඩි වල විස තියෙන්න පුළුවන් නිසා. ඉතින් බඩගින්නෙම ඇවිදගෙන ගියා. මගෙ කකුලුත් රිදෙනවා. එයානම් මට වඩා ශක්තිමත් හින්දා දිගටම යනවා. ඉක්මණට මේ අන්දකාරයෙන් එළියට එන්න ඕනෙ හින්දා මමත් නතරවෙමුයි කිව්වෙ නෑ. මගේ ගමන් වේගය අඩු වෙච්ච හින්දා එයා මගේ අත අත ඇරලා මට වඩා අඩි කීපයක් ඉස්සරහින් යන්න ගත්තා. සමහර තැනකදි එයා ආපහු හැරිලා මං එනකල් බලං ඉන්න කොට එයාගෙ ඇස් දෙකේ මම දැක්කේ නො ඉවසිල්ල. ඇත්ත, මේ කැලෙන් එළියට යනකල් මටත් ඉවසිල්ලක් නෑ. ඒත් අනේ මට හරිම මහන්සියි. මං ගලක් උඩ ඉඳගත්තා. ඒ එක්කම මං කෑගහගෙන ආපහු නැගිට්ටා. මං ඉඳගෙන තියෙන්නේ ලොකූම ලොකු කබරයෙක්ගේ ඇඟ උඩ! අපි දෙන්නම පණ එපා කියලා දිව්වා. දුවලා දුවලා අන්තිමට දියපාරක් ලඟට ආවා. හුඟ වෙලාවකට පස්සේ වතුර පොදක් ඇහැට දැක්කේ. මට ආපු සන්තෝසෙට මං දුවගෙන ගිහින් පැන්නා වතුරට. අත් දෙකට වතුර පුරෝලා අරගෙන උඩ විසි කරලා හිනා උනේ පුංචි කාලෙදි වගේ. මං එයා දිහා හැරිලා බැලුවේ එයාටත් මගේ සතුටට එකතු වෙන්න කියන්න. ඒත් අනේ මෙන්න මයෙ දිහා ඔරෝගෙන බලාගෙන ඉන්නවා. මගෙ හිනාව එහෙමම අතුරුදහන් උනා. "ඇයි මේ?" මං ඇහැව්වා. "ඇයි අහන්නේ? මේ," එයා දිය පාර දිහාවට අත දික් කළා. "කොහොමද මං දැං වතුර ටිකක් බොන්නේ? ඔක්කොම බොර වෙලා ගිහිල්ලා!!!" එයා මට දොස් කිව්වා. අනේ, මට හොඳටම දුක හිතුණා. "ඒක මං හිතලා කළේ නෑ..." මං බිම බලාගෙන කිව්වා. "මදැයි ඉඳලා ඉඳලා තිබහට වතුර උගුරක් බොන්න හැදුවා!" එයා මාවත් පහු කරගෙන දිගටම ඉස්සරහට ගියා. මමත් හෙමින් හෙමින් එයාගෙ පස්සෙන් ඇවිදගෙන ගියා. 


ටිකකින් අපේ ඉස්සරහාට හම්බුනේ මහා ගල් කුලක්. මං එතනට කිට්ටුවෙන කොට එයා ඒකෙන් බාගයක් නැගලත් ඉවරයි. මට ඒක තනියම නගින්න බැරි බව තේරුනා. මං පහල බලාගෙන හිටියා එයා ආපහු හැරිලා එයි කියලා මාවත් එක්කගෙන ගල නගින්න. ඒත් එයාට මාව මතකවත් නෑ වාගේ, තනියම ගල මුදුනටම නැග්ගා. මට ආයෙත් ගොඩක් දුක හිතුණා. මම කටු පඳුරු අස්සෙන් බොහොම අමාරුවෙන් ගල වටෙන් ඉස්සරහට ගියා. විටින් විට උඩ බැලුවහම දැක්කා එයා ගල මුදුනට වෙලා අවට සිරි නරඹ නරඹ තනියම හිනා වෙවී ඉන්නවා. මං කන්ද වටෙන් එහා පැත්තට ආවා. එයා කන්ද බැහැලා ආවා. කටු පඳුරු වලට මාව හොඳටම හීරිලා. ආයෙත් අපි දෙන්නා ඉස්සරහටම යන්න ගත්තා. එයා මට වඩා අඩි ගාණක් ඉස්සරහින්. අපි කතාවක් නෑ. එයා කතා කළෙත් නෑ, මට කතා කරන්න හිතුණෙත් නෑ. ඔහොම දිගටම ගියා. මගෙ ගමන් වේගය එන්න එන්නම අඩු වෙනවා. 

ටිකකින් එයා ඉස්සරහා වංගුවකින් පේන්නෙ නැතුව ගියා. මං හොඳටම කලබල උනා. මං පුළුවන් වේගෙන් ඉස්සරහට දිව්වා. ඒත් එයා පේන්න හිටියෙ නෑ. මං එයාට අඬගැහැව්වා. ඒත් සද්දයක් නෑ. මං එහෙමම පාර මැද බිම ඉඳගත්තා. ඉඳගෙන අඬන්න පටන්ගත්තා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මං එතනම එහෙමම හිටියා. මං දන්නවා මට ආපහු හැරිලා ගිහින් ඕනනම් ආපහු කැලෙන් එළියට යන්න පුළුවන්. ඒ යන ගමන මේ ආවා වගේම අමාරු උනත් අන්තිමේදී මට කැලෙන් එළියට යන්න ලැබෙන බව මම දන්නවා. ඒත් මට එහෙම යන්න හිත දුන්නෙ නෑ. තවත් ඉස්සරහට යන්න හිතුනෙත් නෑ. එයා මාව දාලා ගියා. මට එහෙමයි හිතුණේ. මං එයාට කරදරයක් උනා, බරක් උනා. ඒ නිසා එයා මාව දාලා ගියා. මට ඉවසගන්න බැරි උනා. අඬලා අඬලා මට එහෙමම නින්ද ගියා.

ආයෙ මං ඇස් අරින කොට ඒ ඇස් දෙක මගෙ ඉස්සරහා. මං එකපාරට කෙළින් උනා. ඒ ඇස් දෙකේ පසුතැවිල්ල පිරිලා. "තරහද?" එයා මගෙන් ඇහැව්වා. මං නෑ කියන්න ඔළුව වැනුවා. මගෙ ඇස් දෙකට ආයෙත් කඳුළු එන්න ගත්තා. "අඬන්න එපා, මං ආවනේ..." එයා මගේ ඇස් දෙක පිහදාන ගමන් කිව්වා. "ඇයි මාව දාලා ගියේ?" මං ඇහැව්වා.


එයා ටිකක් වෙලා සද්ද නැතුව හිටියා. ඊට පස්සෙ දිග හුස්මක් හෙලුවා. "අර ගලට නැග්ග වෙලාවේ මං දැක්කා ඈත ලස්සන මල් වත්තක්. හරියට අපි මුලදී පහුකරගෙන ආපු හරිය වගේ. මට ඒ හරියට ඉක්මණට යන්න ඕන උනා. ඔයත් එක්ක යන්න හිටියොත් පරක්කු වෙයි කියලා හිතුණා..." එයා උත්තර දුන්නෙ බිම බලාගෙන.


"ඉතිං එතනට ගියාද?"


"නෑ, මාව අතරමං උනා. ගොඩක් අමාරුවෙන් ආපහු ඔයා ඉන්න තැනට ආවෙත්..."


"කමක් නෑ, ඔයා යන්න. මාත් එක්ක යන්න ගියොත් ඔයාට පරක්කු වෙයි..."


එයා ඔළුව වනලා මගේ කතාව නතර කළා. "එහෙම කියන්න එපා..." එයා මගේ අත් දෙකෙන්ම අල්ලගත්තා. "මට ඔයා නැතුව ඒ ගමන තනියම යන්න බෑ කියලා මට දැන් තේරෙනවා. අපි දෙන්නා ගමන පටන්ගත්තේ එකට... අපි ගමන යන්න ඕනෙත් එකට..."


මගේ ඇස් වලට ආයෙත් කඳුළු උනන්න ගත්තා. ඒ සතුටට. ආදරේට. "ඒත් මං හින්දා ඔයාට පරක්කු උනොත්?"


"ආයෙ එහෙම වෙන්නෙ නෑ. අපි ගමන හෙමින් යං, අපිට යන්න පුළුවන් වේගෙන්..."


අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඒ යන ගමනෙදී අපි කටු පඳුරු වල පිපිච්ච ලස්සන මල් දැක්කා.  කුරුල්ලන්ගෙ ගීත වගේම රැහැයියන්ගෙ සද්දෙත් රස විඳින්න අපි පුරුදු උනා. මහන්සියක් දැනෙන්නෙ නැති වෙන්න ගමන යන හැටි අපි පුරුදු උනා. වළ ගොඩැලි වලදි, ගල් පර්වත පාමුලදි අපි දෙන්නම එකට ඒවා තරණය කළා. අපි අපේ ගමන තාමත්, සන්තෝසෙන්, අත් අල්ලගෙන ඉස්සරහටම යනවා...